ඛුද්දක නිකාය

උදානය

2. මුචලින්‍ද වර්ගය

9. විසාඛා සූත්‍රය

මේ සූත්‍රය මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර මිගාර මාතෘප්‍රාසාද නම් පූර්වරාමයෙහි වැඩවසනසේක.

එකල්හි වනාහි මිගාර මාතෘ නම් විශාඛාව විසින් කිසියම් වැඩක් ඇත්තේ පසේනදී කොසොල් රජු කෙරෙහි ඇලෙනලද්දී වෙයි. පසේනදී කොසොල් රජතෙම සුදුසු පරිදි මෙය තීරණය නොකරයි. ඉක්බිති මිගාරමාතෘ නම් විශාඛාතොමෝ මධ්‍යාහ්නයෙහි භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැන්හි පැමිණියාය. එකත්පසෙක සිටියාවූම මිගාරමාතෘ නම් වූ විශාඛාවට භාග්‍යවතුන් වහන්සේ මෙය ප්‍රකාශකළසේක.

“විශාඛාවෙනි, මේ මධ්‍යාහ්නයෙහි ඔබ කොහි සිට එන්නීද?” කියායි.

“ස්වාමීනි, මෙහි මාගේ කිසියම් කාරණයක් ඇත්තේ පසේනදී කොසොල් රජු කෙරෙහි ඇළුනේ වෙයි. පසේනදී කොසොල් රජතෙම සුදුසු පරිදි එය තීරණය නොකරයි.” යනුයි.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැන ඒ වේලාවෙහි මේ ප්‍රීතිවාක්‍යය ප්‍රකාශකළසේක.

“අනුන් අයත් සිලල්ල දුක්ය. සියලු සැප යයි ගන්නාලද සම්පත් අනුන් හා සාධාරණය ඇතිකල්හි වෙහෙසත්. කෙලෙස් ඉක්මවීම ඒකාන්තයෙන් දුෂ්කරය.”