ඛුද්දක නිකාය

උදානය

3. නන්‍ද වර්ගය

3. යසොජපමුඛ සූත්‍රය

[1] (මෙහි 1 වර්ගයේ 5 සූත්‍රයේ 1 ඡෙදය යෙදිය යුතුයි)

[2] ඒ කාලයෙහි යසොජ ප්‍රධාන පන්සියයක් භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ දකින්නට සැවැත්නුවරට පැමිණියාහුවෙත්. (ii) මෙහි ඒ ආගන්තුක භික්‍ෂූහු ආවාසික භික්‍ෂූන් සමග සතුටු නොවන්නාහු සෙනසුන් පනවමින් පාත්‍ර සිවුරු හකුලමින් උස්හඬ මහාහඬ ඇත්තෝ වූහ. (ii) ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ “ආනන්ද, මසුන් අල්ලන කෙවුලන් මෙන් උස්හඬ මහහඬ ඇත්තාවූ ඔව්හු කවරහුදැ” යි ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් අතින් විචාළේය.

[3] “ස්වාමීනි යසොජ ප්‍රධාන පන්සියයක් පමණ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ දක්නට සැවැත් නුවරට පැමිණියාහුය. (මෙහි 2 (ii) යෙදියයුතුයි.) ආනන්‍දය, එසේවීනම් මගේ වචනයෙන් ‘ආයුෂ්මතුනි භාග්‍යවතුන් වහන්සේ කැඳවත්යයි” ඒ ‘භික්‍ෂූන්ට අඬගසව්” “ස්වාමීනි එසේයයි,” ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට උත්තරදී ඒ භික්‍ෂූහු යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ ඒ භික්‍ෂූන්ට “ආයුෂ්මතුන්ට භාග්‍යවතුන් වහන්සේ කථා කරත්යයි” කීයේය. “ඇවැත්නි එසේදැයි” ඒ භික්‍ෂූහු ආයුෂ්මත් ආනන්‍දට පිළිතුරුදී භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි පැමිණියාහුය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියාහුය. එකත්පසෙක සිටි ඒ භික්‍ෂූන්ට භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, මසුන් අල්ලන කෙවුලන්මෙන් තෙපි කුමක්හෙයින් උස්හඬ මහහඬ ඇත්තාහුදැයි” ඇසූහ. මෙසේ වදාළකල්හි ආයුෂ්මත් යසොජ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි මේ පන්සියයක් භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ දක්නට සැවැත් නුවරට පැමිණියාහුය. (මෙහි 2 (ii) යෙදියයුතුයි.)

[4] “මහණෙනි, යව් තොප මා සමීපයේ නොවසව්යයි ඔවුන් නෙරපව්” ඒ භික්‍ෂූහු “එසේය ස්වාමීනියි” භාග්‍යවතුන් වහන්සේට පිළිතුරුදී අස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට වැඳ පැදකුණුකොට සෙනසුන් හකුළුවා පාත්‍ර සිවුරුගෙන වජ්ජිරට යම් තැනෙක්හිද එහි පයින් වැඩියාහුය. පිළිවෙළින් වජ්ජිරට ඇවිදින්නෝ වග්ගු මුදානදිය යම්තැනෙක්හිද එහි පැමිණියාහුය. පැමිණ වග්ගු මුදානදිය අද්දර කොලකුටිකොට වස්වැසූහ.

[5] ඉක්බිති ආයුෂ්මත් යසොජතෙමේ වස්වැසුයේ “ඇවැත්නි භාග්‍යවතුන් වහන්සේ විසින් යහපත කැමැත්තෙන්, හිතවත්ව, අනුකම්පාවෙන් කරුණාවෙන් අප නෙරපන ලද්දාහුය. ඇවැත්නි එසේ හෙයින් අපි දැන් යම්සේ වාසය කරණ අපට භාග්‍යවතුන් වහන්සේ සතුටු වනසේක්ද එසේ වාසය කරමුයි” කීවේය. “ඇවැත්නි එසේයයි” ඒ භික්‍ෂූහූ ආයුෂ්මත් යසෝජට පිළිතුරු දුන්හ.

[6] ඉක්බිති ඒ භික්‍ෂූහු විවෙකයටගියාහු අප්‍රමාදවූවාහු කෙලෙස් තවන්නාහු කාය ජීවිත දෙක්හි අපෙක්‍ෂා රහිතව වාසය කරන්නෝ ඒවස් කාලයේම සියල්ලෝම ත්‍රිවිද්‍යාවන් ලබාගත්තාහුය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර කැමතිතාක්කල් වැස විශාලානුවර යම් තැනෙක්හිද එහි වැඩිසේක. පිළිවෙළින් වඩිනසේක් විශාලා නුවරට පැමිණිසේක.

[7] භාග්‍යවතුන් වහන්සේ විශාලා නුවර මහා වනයෙහි කූටාගාරශාලාවෙහි වාසය කරති. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වග්ගුමුදා තීරයෙහිවූ භික්‍ෂූන්ගේ සිත තම සිතින් දැන මෙනෙහිකොට ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් ඇමතූසේක. “ආනන්‍දය අර දිශාවෙහි මට එලියක් පහළවූවාක්මෙනි. ආනන්‍දය අරදිශාවෙහි මට දිලිසීමක් පහළවූවාක්මෙනි. යම් දිශාවක වග්ගුමුදා තීරයෙහිවූ භික්‍ෂූන් වසත්ද, මට යන්නට පිළිකුල්ය, මෙනෙහි කරන්නට පිළිකුල්ය. ආනන්‍දය, ඔබ වග්මුදාතීරයෙහිවූ භික්‍ෂූන් වෙත ආයුෂ්මත්වරුන්ට භාග්‍යවතුන් වහන්සේ කථාකරණසේකැ භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මතුන් දක්නට කැමතිසේකැයි කියා දූතයකු යවන්න’ “ස්වාමීනි එසේයයි” ආයුෂ්මත් ආනන්‍දතෙමේ භාග්‍යවතුන් වහන්සේට පිළිතුරුදී එක්තරා භික්‍ෂුවක් යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ ඒ භික්‍ෂුවට ඇවැත්නි එව වග්ගුමුදාතෙරෙහිවූ භික්‍ෂූන් යම්තැනෙක්හිද එහි යන්න, ගොස් වග්ගුමුදාතීරයෙහිවූ භික්‍ෂූන්ට, “ආයුෂ්මතුන්ට භාග්‍යවතුන් වහන්සේ කථාකරති, භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මතුන් දක්නා කැමත්තාහයි” මෙසේ කියන්නැයි කීවේය. ‘ඇවැත්නි එසේයයි,” ඒ මහණතෙම ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන්ට පිළිතුරුදී යම්සේ (ii) බලවත් පුරුෂයෙක් ඇකුළුෑ අත හෝ දික්කරන්නේද දික්කළ අත හෝ වක්, කරන්නේද එසේම මහාවනයෙහි කූටාගාර ශාලාවෙන් අතුරුදහන් වූයේ වග්ගුමුදාගංතෙර ඒ භික්‍ෂූන් ඉදිරිපිට පෙනී සිටියේය.

[8] ඉක්බිති ඒ මහණතෙම වග්ගුමුදාතීරයෙහිවූ භික්‍ෂූන්ට “ආයුෂ්මතුන්ට භාග්‍යවතුන් වහන්සේ කථා කරනසේක. භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මතුන් දක්නට කැමතිසේකැයි” කීවේය. “ඇවැත්නි එසේයයි” ඒ භික්‍ෂූහු ඒ භික්‍ෂුවට පිළිතුරු දී සෙනසුන් අකුලා තබා පාත්‍ර සිවුරුගෙන යම්සේ බලවත් පුරුෂයෙක් හැකුළුෑ අත දික්කරන්නේද, දික් කළ අත වක් කරන්නේද එසේම වග්ගුමුදා ගංතෙර අතුරුදහන් වී මහාවනයෙහි කූටාගාරශාලාවෙහි භාග්‍යවතුන් වහන්සේ ඉදිරිපිට පෙනීසිටියාහුය.

[9] ඒ වේලාවෙහි භාග්‍යවතුන් වහන්සේ නොසෙල්වෙන එකඟකමින් සිටියහ. ඉක්බිති ඒ භික්‍ෂූන්ට “භාග්‍යවතුන් වහන්සේ දැන් කිනම් වාසයකින් වෙසෙත්දැයි” මේ සිතවිය. ඉක්බිති ඒ භික්‍ෂූන්ට ‘භාග්‍යවතුන් වහන්සේ දැන් නොසෙල්වෙන එකඟකමකින් වෙසෙත්යයි’ සිත් විය. සියල්ලෝම නොසෙල්වෙන සමාධියෙන් වැඩ හුන්නාහුය. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ (ii) මනහර රාත්‍රියෙහි පළමුවෙනි යාමය නික්මුනු කල්හි අස්නෙන් නැගිට සිවුර එකාංශකොට භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි ඇඳිලි බැඳ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි රාත්‍රිය මනහරය. ප්‍රථම යාමය ඉක්ම ගියේය. ආගන්තුක භික්‍ෂූහු බොහෝ වේලා වාඩිවී සිටියෝය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ආගන්තුක භික්‍ෂූන් සමග සතුටුවනසේක්වායි” කීයේය.

[10] මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ද වූසේක. දෙවනුවත් ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ (ප්‍රථමයාමය යන්නට මධ්‍යමයාමය කියා වෙනස්කර මෙහි 9 (ii) යෙදිය යුතුයි.) දෙවනුවත් භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ද වූසේක. තුන්වෙනුවත් ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ මනහර රාත්‍රියෙහි අන්තිමයාමය අවසන්වූ පසු අරුණනැගිකල්හි රාත්‍රීමුඛය යහපත්වූ කල්හි අස්නෙන් නැගිට සිවුර එකස්කොට භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එහි ඇඳිලි බැඳ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, රාත්‍රිය යහපත්ය. අන්තිම යාමය අවසන්විය, අරුණ නැංගේය, රාත්‍රි මුඛය යහපත්ය. ආගන්තුක භික්‍ෂූහු පැමිණ බොහෝකල්ය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ආගන්තුක භික්‍ෂූන් සමග පිළිසඳර කථාකරණසේක්වා.”

[11] ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ එකඟකමින් නැගිට ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් ඇමතූසේක. “ආනන්‍දය, ඉදින් ඔබදන්නේ නම් මෙපමණකුත් තොපට කථා නොකරන්නේය. ආනන්‍දය මමද මේ භික්‍ෂූන් පන්සියද යන සියල්ලෝම නොසෙල්වෙන එකඟකමින් හුන්නාහු වෙමුයි” වදාළසේක.

[12] ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැන ඒ වේලාවෙහි මේ ප්‍රීතිවාක්‍යය ප්‍රකාශ කළසේක.

“යමෙකු විසින් කාම නැමැති කටුද බැනවැදීමද, වධද, බන්ධනද, දිනන ලද්දේද, ඒ මහණතෙම පර්වතයක් මෙන් සිටියේ කම්පානොවන්නේ සැපදුක් දෙකෙහි නොවෙවුලයි.”