ඛුද්දක නිකාය

උදානය

4. මෙඝිය වර්ගය

3. ගොපාල (මරණ) සූත්‍රය:-

[1] මා විසින් මෙසේ අසනලදී. එක්කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මහත් භික්‍ෂු සමූහයක් සමග කොසොල් ජනපදයෙහි පයින් වඩිනසේක.

[2] ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මාර්ගයෙන් ඉවත්ව එක්තරා ගසක් යම්තැනෙක්හිද එහි පැමිණිසේක. පැමිණ පනවනලද අස්නෙහි වැඩහුන්සේක. ඉක්බිති එක්තරා ගොපල්ලෙක් භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක සිටියේය. (ii) එකත්පසෙක සිටි ඒ ගොපල්ලාට භාග්‍යවතුන් වහන්සේ (iii) දැහැමි කථාවෙන් කරුණු ගෙනහැර පෙන්වූසේක, සමාදන් කරවූසේක, තෙදගැන්වූසේක, සතුටුකළසේක.

[3] ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කථාවෙන් කරුණු ගෙනහැර දක්වනලද, සමාදන් කරවන ලද, තෙදගන්වන ලද සතුටුකරණලද ඒ ගොපලුතෙම භාග්‍යවතුන් වහන්සේට ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ හෙට දවස දානය පිණිස භික්‍ෂුසංඝයා සමග ඉවසා වදාරණසේක්වා.” භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දතාවයෙන් ඉවසූසේක. ඉක්බිති ඒ ගොපලුතෙම භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම දැන අස්නෙන්නැගිට පැදකුණුකොට ගියේය.

ඉක්බිති ඒ ගොපලුතෙම ඒ රාත්‍රිය ඇවෑමෙන් තමාගේ ගෘහයෙහි බොහෝ දිය නුමසු කිරිබත්ද අළුත් ගිතෙල්ද සකස්කරවා, භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි කල්සරිය, දානය නිමවීයයි” භාග්‍යවතුන් වහන්සේට දැන්වූයේය.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පොරවා පාත්‍ර සිවුරු රැගෙන භික්‍ෂුසංඝයා සමග ඒ ගොපල්ලාගේ නිවස යම්තැනෙක්හිද එහි වැඩිසේක. වැඩ පණවනලද ආසනයෙහි වැඩසිටිසේක. ඉක්බිති ඒ ගොපලුතෙම බුදුන් ප්‍රධාන භික්‍ෂුසංඝයා දිය නුමුසු කිරිබතින්ද, අළුත් ගිතෙලින්ද සියතින් සතප්පවූයේය, පැවරූයේය. ඉක්බිති ඒ ගොපලුතෙම වැළඳූ පාත්‍රයෙන් පසෙකට ගත් අත් ඇති භාග්‍යවතුන් වහන්සේ ලඟ එක්තරා පහත් අස්නක් ගෙන එකත්පසෙක හිඳගත්තේය. භාග්‍යවතුන් වහන්සේ එකත්පසෙක හුන් ඒ ගොපල්ලා දැහැමි කථාවෙන් කරුණු සහිතව පෙන්වා, සමාදන් කරවා, තෙදගන්වා, සතුටුකරවා අස්නෙන් නැගිට වැඩිසේක. භාග්‍යවතුන් වහන්සේ වැඩි නොබෝ වේලාවකින් ඒ ගොපල්ලා එක්තරා පුරුෂයෙක් සීමාව තුළදී දිවි තොරකළේය.

ඉක්බිති බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි පැමිණියාහුය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියාහුය. එකත්පසෙක හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි යම් ගොපල්ලෙකු විසින් අද බුදුන් ප්‍රධාන භික්‍ෂුසංඝයා දිය නුමුසු කිරිබතින්ද අළුත් ගිතෙලින්ද, සියතින් සතප්පවන ලද්දේද, පවරණ ලද්දේද, ස්වාමීනි, ඒ ගොපලුතෙම එක්තරා පුරුෂයෙකු විසින් සීමාව අතරේදී ජීවිතයෙන් තොරකරණ ලද්දේයයි” කීවාහුය.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැන ඒ වේලාවෙහි මේ ප්‍රීතිවාක්‍යය ප්‍රකාශකළසේක.

“සොරෙක් හෝ සතුරෙක් හෝ යමෙකුට නපුරක් කරන්නේද දශ අකුශල්හි යෙදූ සිත ඒ පුද්ගලයාට සොර සතුරන් විසින් කරණු ලබන අනර්ථයට වැඩිවූ අනර්ථයක් කරන්නේය. ඔහු අතිශයින් ලාමක කරන්නේය.”