ඛුද්දක නිකාය

උදානය

4. මෙඝිය වර්ගය

4. ජුණ්හරත්ති සූත්‍රය

(මෙහි 1 වර්ගයේ 6 සූත්‍රයේ 1 ඡෙදය යෙදිය යුතුයි.)

ඒ කාලයෙහි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේද ආයුෂ්මත් මහමොග්ගලාන ස්ථවිරයන් වහන්සේද, පරෙවි කඳුරෙහි වාසය කරත්. ඒ කාලයෙහි ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙමේ ආලොකවත් රාත්‍රියෙහි අළුත මුඩුකළ හිසින් යුක්තව අවකාශ ස්ථානයෙහි එක්තරා සමාධියකට සමවැදහුන්නේ වේ. ඒ අවස්ථාවෙහි යහළු යක්‍ෂයන් දෙදෙනෙක් කිසියම් කරුණක් කරණ කොටගෙන උතුරු දිගින් දකුණු දිගට යන්නාහු ඒ යක්‍ෂයෝ ආලෝකවත් රාත්‍රියෙහි අළුත මුඩුකළ හිසද ඇතිව අවකාශස්ථානයෙහි හුන් ආයුෂ්මත් ශාරීපුත්‍රයන් දැක එක් යක්‍ෂයෙක් දෙවෙනි යක්‍ෂයාට “යහළුව, මේ ශ්‍රමණයාගේ හිසෙහි පහරක් දෙන්නට මට සිතේයයි” කීයේය.

මෙසේ කී කල්හි ඒ යක්‍ෂතෙම ඒ යක්‍ෂයාට, “යහළුව එපා ශ්‍රමණයාට හිරිහැර නොකරව, යහළු, ඒ ශ්‍රමණයා උදාර කෙනෙකි. මහත් සෘද්ධි ඇත්තේය, මහත් ආනුභාව ඇත්තේයයි” කීයේය. දෙවනුවත් ඒ යක්‍ෂතෙම ඒ යක්‍ෂයාට, “යහළුව, මේ ශ්‍රමණයාගේ හිසෙහි පහරක් දෙන්නට මට සිතේයයි” කීයේයත දෙවනුවත් ඒ යක්‍ෂතෙම ඒ යක්‍ෂයාට “යහළුව කම් නැත ශ්‍රමණයාට හිරිහැර නොකරව, යහළුව ඒ ශ්‍රමණයා උදාර කෙනෙක, මහත් සෘද්ධි ඇත්තෙකි. මහත් ආනුභාව ඇත්තෙකි.” තුන්වෙනුවත් ඒ යක්‍ෂ තෙම ඒ යක්‍ෂයාට “යහළුව, මේ ශ්‍රමණයාගේ හිසෙහි පහරක් දෙන්නට මට සිතේ යයි” කීයේය. තුන්වෙනුවත් ඒ යක්‍ෂ තෙම ඒ යක්‍ෂයාට “යහළුව, කම්නැත, ශ්‍රමණයාට හිරිහැර නොකරව, යහළුව ඒ ශ්‍රමණයා උදාර කෙනෙකි, මහත් සෘද්ධි ඇත්තෙකි. මහත් ආනුභාව ඇත්තෙකි. “ඉක්බිති ඒ යක්‍ෂ තෙම ඒ යක්‍ෂයාගේ වචන නොපිළිගෙන ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන්ගේ හිසෙහි පහරක් දුන්නේය. කොපමණ මහත් පහරක් වූයේද, ඒ පහරින් සත්රියන් ඇති අටරියන් ඇති ඇතෙකු වැටෙන්නේය. මහත් පර්වතකූටයක් පැලෙන්නේය. ඉක්බිති ඒ යක්‍ෂතෙම දැවෙමි දැවෙමියි කියා එහිම මහා නරකයෙහි වැටුනේය.

ආයුෂ්මත් මහමුගලන් තෙමේ ඒ යක්‍ෂයා විසින් ආයුෂ්මත් ශාරිපුත්‍රයන්ගේ හිසෙහි දෙන ලද පහර මිනිස් ඇස ඉක්ම සිටියාවූ දිවැසින් දැක්කේය. දැක ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේට, “ඇවැත්නි, තොපට කිමෙක්ද ඉවසිය හැකිද, කිමෙක්ද යැපිය හැකිද, කිමෙක්ද කිසි දුකක් නැද්ද?”

“ඇවැත්නි මොග්ගල්ලාන, මට ඉවසිය හැක, ඇවැත්නි, මොග්ගල්ලාන මට යැපිය හැක, එතකුදු වුවත් මාගේ හිසෙහි මදක් වේදනා ඇත.”

ඇවැත් ශාරිපුත්‍රය පුදුමයි, ඇවැත්නි ශාරිපුත්‍රය අද්භූතයි. යම් බඳුවූ ඔබ මහත් සෘද්ධි ඇත්තේය. ආයුෂ්මත් ශාරිපුත්‍රතෙමේ මහත් ආනුභාව ඇත්තේය. ඇවැත් ශාරිපුත්‍රය එක්තරා යක්‍ෂයෙක් තොපගේ හිසෙහි පහරක් දුන්නේද, එය මහත් එකක්ය. ඒ නැවතද ඒ පහරින් සත්රියන් අටරියන් හෝ ඇතෙක් හෙලන්නේද, මහත් පර්වතයක් පලන්නේද, පොහොසත්ය. නමුත් ඇවැත් ශාරිපුත්‍ර තෙමේ “ඇවැත්නි, මොග්ගල්ලාන මට ඉවසිය හැක. ඇවැත්නි, මොග්ගල්ලාන මට යැපෙනු හැක. නමුත් මගේ හිස මදක් රිදේයයි” කීයේය.

“මෙතරම් මහත් සෘද්ධි ඇති මහත් ආනුභාව ඇති ආයුෂ්මත් මොග්ගල්ලාන තෙමේ යම් තැනකදී යක්‍ෂයෙකුදු දක්නේද, ඇවැත්නි, මොග්ගල්ලාන ආශ්චර්යයයි. ඇවැත්නි, මොග්ගල්ලාන පුදුමයි. අපි තවම පාංශු පිශාචයෙකුදු නොදකිමු”යි කීයේය. භාග්‍යවතුන් වහන්සේ ඒ රහත් දෙනමගේ මෙබඳු කථා ස්වරූපය පිරිසිදු මිනිස් ඇස ඉක්ම පැවති දිවකණින් ඇසූ සේක.”

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැන ඒ වේලාවෙහි මේ ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කළ සේක.

“යමෙකුගේ පර්වතයක් මෙන් ස්ථිරවූ සිත නොසැලේද ඇලුම් කටයුතු දෙයෙක්හි නොඇලුනේද කිපිය යුතු දෙයෙහි නොකිපේද, යමෙකුගේ මෙසේ වඩන ලද ඒ සිතට දුකක් කොයින් පැමිණේද?”