ඛුද්දක නිකාය

උදානය

4. මෙඝිය වර්ගය

8. සුන්‍දරී සූත්‍රය

(මෙහි 1 වර්ගයේ 5 සූත්‍රයේ 1 ඡෙදය යෙදිය යුතුයි.)

එසමයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේ සිවුරු, පිණ්ඩපාත, සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ලබන්නේ, සත්කාර ඇත්තේ, ගරු කිරීම් ඇත්තේ, බුහුමන් ඇත්තේ, පූජා ඇත්තේ, සංග්‍රහ ඇත්තේය. අන්‍යතීර්ථක පැවිද්දෝ සිවුරු, පිණ්ඩපාත, සෙනසුන්, ගිලන්පස, බෙහෙත් පිරිකර නොලබන්නෝ, සත්කාර නැත්තෝ, ගරු කිරීම් නැත්තෝ, බුහුමන් නැත්තෝ, පූජා නැත්තෝ, සංග්‍රහ නැත්තෝ වෙත්. ඉක්බිත්තෙන් වනාහි ඒ අන්‍යතීර්ථක පැවිද්දෝ භාග්‍යවතුන්වහන්සේට හා භික්‍ෂුසංඝයාට වන සත්කාර නොඉවසන්නේ සුන්දරී නම් පැවිද්දිය යම් තැනෙක්හිද එහි පැමිණියෝය. පැමිණ, සුන්දරී නම් පැවිද්දියට මෙය කීහ.

“නංගියේ, නෑයන්ට වැඩක් කරන්නට මහන්සිවෙහිද?”

“මහාත්මයෙනි, මම කුමක් කරම්ද? මට කරන්නට පුළුවන් කුමක්ද? මගේ ජීවිතයත් නෑයනට වැඩ පිණිස පරිත්‍යාග කරණ ලදී.” - “එහෙමනම් නංගියේ නිතර නිතර ජේතවනයට යන්න.” “මහාත්මයෙනි, එසේයයි” සුන්දරී පැවිද්ද අන්‍යතීර්ථක පැවිද්දන්ට පිළිතුරුදී නිතර නිතර ජේතවනාරාමයට ගියාය. ඒ අන්‍යතීර්ථක පැවිද්දෝ ඒ සුන්දරී පැවිද්ද බොහෝ දෙනා හා නිතර ජේතවනයට ඒ යයි යම්විටක දත්තාහුද ඉක්බිති ඇය මරා ජේතවනයේ එම දිය අගළේ වළදමා පසේනදි කොසොල් රජු යම්තැනෙක්හිද, එහි ගියහ. ගොස් පසේනදි කොසොල් රජුට මෙය කීහ.

[3] “මහරජ, යම් ඒ සුන්දරි පැවිද්ද අපට නොපෙනේ”(කියාය) “තෙපි කොතැන සැක කරව්ද?” “මහරජ, ජේතවනයෙහිය.”

“එසේ නම් ජේතවනය පරීක්‍ෂා කරව්.” ඉක්බිති වනාහි ඒ අන්‍යතීර්ථක පැවිද්දෝ ජේතවනය පරීක්‍ෂාකොට වැළලුසේම අගළේ වළින් ගොඩ ගෙන ඇඳකට නගා සැවැත්නුවරට ඇතුළුකොට වීදියෙන් වීදියට සතර මංසන්ධියෙන් සතරමංසන්ධියට ගොස් කෑ ගසා කියත්.

[4] “මහාත්මවරුනි, ශාක්‍යපුත්‍රයන්ගේ වැඩක් බලන්න. (ii) මේ ශාක්‍යපුත්‍රතෙම මහණහු ලජ්ජානැත්තෝය, දුශ්ශීලය, පාපධර්ම ඇත්තෝය, බොරු කියත්, බ්‍රහ්මචර්‍ය්‍යා නැත්තෝය. මොවුන් විසින් නම්, ධර්මයේ හැසිරෙන්නෝය, මහණදම් පුරන්නෝය, බඹසර හැසිරෙන්නෝය, ඇත්ත කියන්නෝය, සිල්වත්තුය, පිරිසිදු ගතිගුණ ඇත්තෝය”යි ප්‍රතිඥා කරත්, මුන්ට මහණකමක් නැත. මුන්ට බ්‍රහ්ම දැකීමක් නැත. මුන්ගේ මහණකම නැහුණේය. මුන්ගේ නිවන් දැක්ම නැහුණේය. මුන්ට මහණකමක් කොයින්ද? මුන්ට නිවන් දැකීමක් කොයින්ද මොහු මහණ කමින් පහවූවෝය. මොහු නිවන් දැකීමෙන් පහවූවෝය. කොහොම නම් පුරුෂයෙක් පුරුෂ ක්‍රියාව කොට ස්ත්‍රියක මරවන්නේද?”

[5] ඉක්බිති වනාහි බොහෝ භික්‍ෂූහු පෙරවරුවෙහි හැඳ පොරවා, පාත්‍ර සිවුරුගෙන සැවැත් නුවර පිඬු පිණිස හැසුරුණාහ. සැවැත්නුවර පිඬු පිණිස හැසිර බතින් පසු පිණ්ඩපාතයෙන් වැළකුණාහු භාග්‍යවතුන්වහන්සේ යම් තැනකද එහි ගියහ. ගොස් භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය කීහ.

“ස්වාමිනි, දැන් සැවැත්නුවර මිනිස්සු භික්‍ෂූන් දැක අසභ්‍ය පරුෂවචනවලින් බණිත්, නින්දා කරත්, කෝපකරත්, වෙහෙසත්. (මෙහි 4 (ii) යෙදිය යුතුයි.)

[6] “මහණෙනි, මේ ශබ්දය බොහෝ කල් නොපවතී. සත්දිනක්ම වෙයි. සත්දිනක් ගියවිට අතුරුදහන් වෙයි. මහණෙනි, එසේ වීනම්, යම් මනුෂ්‍යයෙක් භික්‍ෂූන් දැක අසභ්‍ය ඵරුෂවචනවලින් බණිත්ද, නින්දාකරත්ද, කොප කරත්ද, වෙහෙසත්ද, තෙපි ඔවුන්ට මේ ගාථාවෙන් ප්‍රති චොදනා කරව්.

(ii) “නොවූ දෙය කියන්නා නිරයට යයි. යමෙක් කොට නො කෙරෙමියි කියාද පහත්කටයුතු ඇති ඒ මිනිස්සු දෙදෙනාම පරලොවදී සමවෙත්.

[7] ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ ළඟින් මේගාථාව ඉගෙන යම් මනුෂ්‍යයෙක් භික්‍ෂූන් දැක අසභ්‍ය ඵරුෂ වචනවලින් බණිත්ද, නින්දාකරත්ද, කෝපකරද්ද, වෙහෙසද්ද ඔවුහු මේ ගාථාවෙන් චොදනා කරත්. (මෙහි 6 (ii) යෙදිය යුතුයි.) මිනිසුන්ට මේ (අදහස) විය. මේ ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ නොකරන්නෝය. මොවුන් විසින් කරනලද නම් මේ ශ්‍රමණ ශාක්‍යපුත්‍රයෝ නොදිවුරත්.

[8] ඒ ශබ්ද බොහෝකල් නොවීය. ශබ්දය දිනසතක්ම විය. සත්දින ඉකුත්වීමෙන් අතුරුදන් විය. ඉක්බිත්තෙන් වනාහි බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ කරා ගියහ. ගොස් භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය කීහ. “ස්වාමීනි, ආශ්චර්යයි, ස්වාමීනි, පුදුමයි. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ විසින් යම්තාක් මේ කරුණ ස්ථිර නොවන්නේය. සත්දිනක්ම වන්නේය. සත්දින යාමෙන් අතුරුදහන් වන්නේයයි’ මනාව වදාරනලදද, ස්වාමීනි, ඒ ශබ්දය අතුරුදන්විය.

[9] ඉක්බිත්තෙන් වනාහි භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැන ඒ වේලාවෙහි මේ ප්‍රීතිවාක්‍යය පහළ කෙළේය.

“සංයමයක් (හික්මීමක්) නැති ජනයෝ යුද බිමට ගිය ඇතකු සතුරන් විසින් මෙන් වචනයෙන් පෙළත්. කියනලද ඵරුෂ වාක්‍යය අසා දුෂ්ට (කොප) සිත් නැති භික්‍ෂුතෙමේ ඉවසන්නේය.”