ඛුද්දක නිකාය

උදානය

5. සොරණ වර්ගය

3. සුප්පබුද්ධ කුට්ඨි සූත්‍රය

(මෙහි 1 වර්ගයේ 6 සූත්‍රයේ 1 ඡෙදය යෙදිය යුතුයි.)

ඒ කාලයෙහි රජගහනුවර සුප්‍රබුද්ධ නම් කුෂ්ට ඇති දිළිඳු මිනිහෙක් විය. ඔහු මිනිස් දුගියෙක් වේ. මිනිස් අසරණයෙක් වේ. ඒ කාලයෙහි භාග්‍යවතුන් වහන්සේ මහත් පිරිසක් පිරිවරන ලද්දේ බණ වදාරමින් හුන්නේ විය.

සුප්‍රබුද්ධ නම් කුෂ්ට රෝගී තෙමේ රැස්වූ ඒ මහජන සමූහයා දුරින්ම දුටුවේය. දැක ඔහුට ‘නිසැකයෙන් මෙහි කෑයුතු දෙයක් හෝ බුදිය යුතු දෙයක් හෝ බෙදනු ලබයි. ඒ මහජන සමූහයා යම්තැනෙක්හිද එහි යන්නෙම් නම් යෙහෙක. මෙහිදී කිසි කෑ යුතු දෙයක් හෝ බුදිය යුතු දෙයක් හෝ ලබන්නේ නම් යෙහෙකැයි’ සිතීය. ඉක්බිති සුප්‍රබුද්ධ නම් කුෂ්ට රෝගී තෙමේ ඒ මහජන සමූහයා යම් තැනෙක්හිද එහි පැමිණියේය. සුප්‍රබුද්ධ නම් කුෂ්ට රෝගී තෙමේ මහත් පිරිසක් පිරිවරා බණ වදාරමින් වැඩ සිටින භාග්‍යවතුන් වහන්සේ දුටුවේය. දැක ඔහුට මේ අදහසවිය. මෙහි කිසි කෑ යුතු දෙයක්වත් බුදිය යුතු දෙයක් වත් නොබෙදනු ලබයි. මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ පිරිසට දම් දෙසයි. මමත් බණ අසන්නෙම් නම් යෙහෙකැයි’ සිතක් විය. ‘මමත් බණ අසමියි” එහිම එකත්පසෙක හුන්නේය.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සියළු පිරිසගේ සිත් තම සිතින් දැන කවරෙක් මෙහි ධර්මය අවබෝධ කරන්නට සමර්ථදැයි සිහි කළ සේක. භාග්‍යවතුන් වහන්සේ ඒ පිරිසෙහි සිටි සුප්‍රබුද්ධ නම් කුෂ්ට රෝගියා දුටුසේක. දැක, උන්වහන්සේට ‘මේ තෙමේ වනාහි මෙහි ධර්මය අවබෝධ කරන්ට සුදුසුයයි’ සිතූ සේක.

[5] සුප්‍රබුද්ධ නම් කුෂ්ට රෝගියා වෙනුවෙන් දාන කථා, ශීල කථා, ස්වර්ග කථා, කම්සැපයේ දෝෂය, පහත් බව, කිලිටුවීම, ගිහිගෙන් නික්මීමෙහි අනුසස් යන මේ පිළිවෙළ කථාව ප්‍රකාශ කළ සේක. භාග්‍යවතුන් වහන්සේ සුවපත් මෘදු නීවරණ පහවූ, ඔද වැඩි, පැහැදුනු සිත් ඇති සුප්‍රබුද්ධ නම් කුෂ්ට රෝගියා යම් අවස්ථාවක දත් සේක්ද, ඉක්බිති බුදුවරුන්ගේ යම් තමාම උසස් වන ධර්ම දේශනාවක් ඇද්ද, ඒ දුක දුක ඉපදීමට හේතුව, දුක් නැති කිරීම, දුක්නැති කිරීමේ මාර්ගය ප්‍රකාශ කළ සේක. යම්සේ පහවූ කසට ඇති පිරිසිදු වස්ත්‍රයකට වහාම සායම් අල්වාගන්නේද, එසේම ඒ ආසනයේදීම සුප්‍රබුද්ධ නම් කුෂ්ටරෝගියාට කෙලෙස් රජස් පහවූ, කෙලෙස් මල පහවූ ධර්මඥානය පහළ විය. ඇතිවන ස්වභාව ඇති යම් ධර්මයක් වේද, ඒ සියල්ල නැතිවීම ස්වභාවකොට ඇත්තේයයි’ කියායි.

[6] ඉක්බිති සුප්‍රබුද්ධ නම් කුෂ්ට රෝගියා දක්නා ලද පැමිණෙනලද අවබෝධ කරණලද, බැසගත් චතුස්සත්‍ය ධර්ම ඇත්තේ පහවූ තරණය කළ සැක ඇත්තේ, විසාරදබවට පැමිණියේ බුද්ධශාසනයෙහි අනෙක් අනෙක් හේතුවක් නොදක්නේ බුදුන් යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ බුදුන් වැඳ එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි සුප්‍රබුද්ධ කුෂ්ටරෝගීතෙම භාග්‍යවතුන් වහන්සේට (ii) “ස්වාමීනි. ඉතා යහපති, ස්වාමීනි, ඉතා යහපති ස්වාමීනි යම්සේ යටිකුරුවූවක් උඩුකුරු කරන්නේද, වැසුනු දෙයක් වැසුම් හරින්නේද, මංමුළාවූවෙකුට පාර කියන්නේද, ඇස් ඇත්තේ රූප දකිත්වායි කළුවරෙහි තෙල් පහනක් දරන්නේද එසේම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ක්‍රමයෙන් ධර්මය ප්‍රකාශ කළ සේක. ස්වාමීනි, ඒ මම භාග්‍යවතුන් වහන්සේද ධර්මයද, සංඝයාද සරණයමි. (iii) භවත් ගෞතමයන් වහන්සේ අද සිට දිවිහිමියෙන් සරණ ගිය උපාසකයකු වසයෙන් මා දන්නා සේක්වායි” කීයේය.

[7] ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කථාවෙන් කරුණු ගෙනහැර දක්වන ලද, සමාදන් කරවන ලද, උත්සාහ කරවණ ලද, සතුටු කරවන ලද සුප්‍රබුද්ධ කුෂ්ට රෝගියා භාග්‍යවතුන් වහන්සේගේ වචනයට සතුටුව අනුමෝදන්ව අස්නෙන් නැගිට බුදුන් වැඳ පැදකුණු කොට ගියේය. ඉක්බිති ළදරු වස්සෙකු ඇති දෙනක් සුප්‍රබුද්ධ නම් කුෂ්ට රෝගියාට ඇන ජීවිතය තොර කෙළේය.

ඉක්බිති බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි පැමිණියාහුය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියාහුය. එකත්පසෙක සිටි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට, “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කථාවෙන් කරුණු පෙන්වන ලද, සමාදන් කරවන ලද, උත්සාහ කරවන ලද, සතුටු කරවන ලද යම් ඒ සුප්‍රබුද්ධ නම් කුෂ්ට රෝගියෙක් වූයේද හෙතෙම කළුරිය කෙළේය. ඔහුගේ ගතිය. (ස්වභාවය) කවරේද පරලොව කෙසේ දැයි” ඇසූහ.

‘මහණෙනි, සුප්‍රබුද්ධ නම් කුෂ්ට රෝගියා පණ්ඩිතය. නවලෝකොත්තර ධර්මයට අනුව මාර්ග ඵල ඉපද වීය. ධර්මය හෙතුවෙන් මා වෙහෙස නොකෙළේය. මහණෙනි, සුප්‍රබුද්ධ නම් කුෂ්ට රෝගී තෙමේ සංයොජන (බැමි) තුනක් නැති කිරීමෙන් අපායේ නොවැටෙන නිවනට නියම, අවබොධය එකම පිහිට කොට ඇති සොවාන්වූවෙකියි” වදාළසේක. මෙසේ වදාළ කල්හි එක්තරා භික්‍ෂූවක් , “ස්වාමීනි, යම් කරුණකින් සුප්‍රබුද්ධ නම් කුෂ්ට රෝගී තෙම දිළිඳු මිනිසෙක් දුගී මිනිසෙක් අසරණ මිනිසෙක් වූයේද මීට හේතු කවරේද කාරණා කවරේදැයි” ඇසීය.

“මහණෙනි, බොහෝ පෙර සුප්‍රබුද්ධ නම් කුෂ්ට රෝගී තෙමේ මේ රජගහනුවර සිටු පුත්‍රයෙක් විය. හෙතෙම උයනට යන්නේ නුවරට පිඬු පිණිස ඇතුල්වන තගරසිඛී පසේ බුදුන් දුටුවේය. දැක ඇවිදින මේ කුෂ්ට රෝගියා කවරෙක් දැයි කෙලගසා අගෞරව කොට ගියේය. හෙතෙම ඒ කර්මයාගේ විපාකයෙන් බොහෝ වර්ෂ ගණනක් බොහෝ වර්ෂ සිය ගණනක් බොහෝ වර්ෂ දහස් ගණනක් බොහෝ වර්ෂ ලක්‍ෂ ගණනක් නරකයෙහි පැසුනේය. ඒ කර්මයාගේම ඉතිරි විපාකයෙන් මේ රජගහ නුවර දිළිඳු මිනිසෙක් විය. දුගී මිනිසෙක් විය, අසරණ මිනිසෙක් විය. හෙතෙම තථාගතයන් ප්‍රකාශ කරණ ලද ධර්ම විනය දැන ශ්‍රද්ධාව ලැබුවේය. සිල්සමාදන් විය. ඇසීම ලැබීය. ත්‍යාගය ලැබීය, සම්‍යක් දෘෂ්ටිය ලැබීය. ප්‍රඥාව ලබා, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු දිව්‍යලොකයෙහි උපන්නේය. තව්තිසා දෙවියන් හා වාසයට ගියේය. හෙතෙම එහි වර්ණයෙන්ද යසසින්ද සෙසු දෙවියන්ට වඩා බබලයි” යයි වදාළසේක.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැන ඒ වේලාවෙහි මේ ප්‍රීති වාක්‍යය ප්‍රකාශ කළසේක.

“වීර්යය ඇතිකල්හිත් ඇස ඇතත් විෂමව පීවත් වෙත් මනුෂ්‍යලොකයෙහි පණ්ඩිත තෙම පටු දුරු කරන්නේය.”