ඛුද්දක නිකාය

උදානය

5. සොරණ වර්ගය

4. කුමාරක ජුණ්හ සූත්‍රය

(මෙහි 1 වර්ගයේ 5 සූත්‍රයේ 1 ඡේදය යෙදිය යුතුයි.)

ඒ කාලයෙහි බොහෝ ළමයි සැවත් නුවරටද ජේතවනයටද අතරෙහි මසුන් මරත්. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරු වේලාවෙහි හැඳ පොරවා පාත්‍ර සිවුරු ගෙන සැවැත් නුවරට පිඬු පිණිස වැඩිසේක. භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවරටද ජේතවනයටද අතරෙහි මසුන් මරණ ළමයින් දැක ඒ ළමයින් වෙත පැමිණිසේක. පැමිණ ඒ ළමයින්ට “ළමයිනි, නුඹලා දුකට බියද, තොපට දුක අප්‍රිය දැයි” ඇසූහ. “ස්වාමීනි, එසේය. ස්වාමීනි, අපි දුකට බිය වෙමු. අපට දුක අප්‍රියයයි” කීවාහුය.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැන ඒ වේලාවෙහි මේ ප්‍රීතිවාක්‍යය පහළ කළසේක.

“ඉදින් තොපි දුකට බියනම් ඉදින් තොපට දුක අප්‍රිය නම් ඉදිරිපිට හෝ රහසිගතව හෝ පවිටු කර්මයක් නොකරව්. යම් පාපකර්මයක් මතු කරන්නහුද දැන් කරන්නහුද පැනයතත් තොපට එහි විපාකයට පැමිණ මිස දුකින් මිදීමක් නැත.”