ඛුද්දක නිකාය

උදානය

5. සොරණ වර්ගය

6. සොණ කුරරඝරික සූත්‍රය

(මෙහි 1 වර්ගයේ 5 සූත්‍රයේ 1 ඡේදය යෙදියයුතුයි.)

[2] එකල්හි වනාහි ආයුෂ්මත් මහා කච්චායන ස්ථවිර තෙම අවන්තීරට කුරරඝර නම් නුවරෙහි ප්‍රපාත නම් පර්වතයෙහි වැඩ වෙසෙයි. එසමයෙහි වනාහි කුටිකණ්ණයයි ප්‍රසිද්ධවූ සොණ උපාසකතෙම ආයුෂ්මත් මහා කච්චායන තෙරණුවන්ට උවටැන් කරන්නේවෙයි. ඉක්බිති විවේකයට පැමිණ සිත එකඟකළාවූ (කෙළක්වටිනා) කන් පළඳනාවක් දරන්නාවූ සොණ උපාසකයාගේ සිතට මෙබඳු කල්පනාවෙක් උපන, (ii) ‘යම් යම් අයුරකින් මහාකච්චායන ස්වාමීන් වහන්සේ දහම් දෙසනසේක්ද, මේ ධර්මය ගිහිගෙයි වසන්නාහු විසින් ඒකාන්තයෙන් සම්පූර්ණකොට එතැනින් පිරිසිදුකොට ලියූ සකක් හෝ පිරිසිදු සකක් වැනිකොට බ්‍රහ්මචර්යයෙහි හැසිරෙන්නට පහසු නොවෙයි. මම කෙස් රවුල් බාවා කසට පෙවූ වස්ත්‍ර හැඳපොරොවා ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදි වන්නෙම් නම් ඉතා මැනව”යි.

[3] ඉක්බිති කුටිකණ්ණයයි ප්‍රසිද්ධ සොණ උපාසක තෙමේ (ii) ආයුෂ්මත් මහාකච්චායන ස්ථවිරතෙම යම් තැනෙක වෙසේද, එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවන්ට වැඳ එකත් පසෙක හුන්නේය. එකත් පසෙක හුන්නාවූම කුටිකණ්ණනම්වූ සොණ උපාසකතෙම ආයුෂ්මත් මහාකච්චායන ස්ථවිරයන් වහන්සේට මේ පුවත දැන්වීය :-“වහන්ස, මෙහි රහසිගතව සිත එකඟකළාවූ මාගේ සිතට මෙබඳු කල්පනාවෙක් පහළවීය:-‘යම් යම් ආකාරයකින් ස්වාමීවූ මහාකච්චායනයන් වහන්සේ ධර්මදේශනය කෙරෙද්ද, මේ ධර්මය ගිහිගෙයි වසන්නහු විසින් ඒකාන්තයෙන් සම්පූර්ණ කොට එකාන්තයෙන් පිරිසිදුකොට ලියනලද්දාවූ හෝ ශුද්ධ කරනලද්දාවූ සකක්සේ බඹසර හැසිරෙන්නට පහසු නොවන්නේය.

‘මම කෙස් රවුල් බාවා, කසාවක් හැඳ පොරොවා ගිහි ගෙයින් නික්ම ශාසනයෙහි පැවිදිවන්නෙම් නම් ඉතා යෙහෙකැයි’ ස්වාමීනි, ආර්ය මහාකච්චායනයන් වහන්සේ මා පැවිදි කරනසේක්වා”යි (කීයේය.)

[4] මෙසේ කීකල්හි ආයුෂ්මත් මහාකච්චායන තෙර කුටිකණ්ණ නම් සොණ උපාසකයාට මෙය කීයේය:-(ii) “සොණයෙනි; දිවිහිම්කොට එකවේලේ අනුභව කරන බතද හුදකලාව සයනයකිරීමද මෛථුන විරතියද (නොහොත්) ශාසන බ්‍රහ්මචර්යයද දුෂ්කරමය. එබැවින් සොණය, තෝ ඒ ගිහිගෙහිම ගිහිවූයේම (නිත්‍ය ශීල උපොෂිතාදි බුදුරදුන්ගේ අනුශාසනයවු කාලයට යෝග්‍යවූ එක බතෙහිද මෙවුන්දමින් වැළැක්මෙහිද යෙදෙවයි” (කීය.) ඉක්බිති කුටිකණ්ණයයි ප්‍රකටවූ සොණ උපාසකයාගේ පැවිදිවීමට යම් උත්සාහයෙක්වීද, ඒ උත්සාහය සන්සිඳිණ.

[5] දෙවනුවද රහස්ගතවූ සිත එකඟ කළාවූ කුටිකණ්ණයයි දක්නාලද සෝණ උපාසකයාගේ සිතට මෙබඳු කල්පනාවෙක් පහළවීය:- (මෙහි 2 (ii) යෙදිය යුතුයි.) දෙවනුවත් කුටිකණ්ණයයි හඳුනලද සෝණ (මෙහි 3 (ii) යෙදිය යුතුයි.)

[6] දෙවනුවත් ආයුෂ්මත් මහාකච්චායන ස්ථවිරතෙම කුටිකණ්ණයයි දක්නාලද සොණ උපාසකයාට මේ (මතු කියන) කරුණ කීයේය:- (මෙහි 4 (ii) යෙදිය යුතුයි.)

[7] තුන්වෙනුවද කෙළක් අගනා කන්පළඳනාවක් දරන්නාවූ රහසිගතවූ සිත එකඟ කළාවූ සොණ උපාසකයාගේ සිතට මෙබඳු අදහසෙක් පහළවීය:- (මෙහි 2 (ii) යෙදිය යුතුයි.) තුන්වෙනුවද කෙළක් අගනා කුණ්ඩලාභරණයක් දරන්නාවූ සෝණ උපාසකතෙම ආයුෂ්මත් (මෙහි 3 (ii) යෙදිය යුතුයි.) එකල්හි වනාහි ආයුෂ්මත් කච්චායන තෙර කෙළක් වටින කොඬොල් අබරණ දරන්නාවූ සෝණ උපාසකයා පැවිදි කෙළේය.

[8] එකල්හි වනාහි අවන්තීජනපදයෙහි (දකුණු පළාත) ස්වල්ප භික්ෂූන් ඇත්තේවෙයි. ඉක්බිති ආයුෂ්මත් මහා කච්චායන ස්ථවිරතෙම තුන් අවුරුද්දක් ඇවෑමෙන් දුකින් මහන්සියෙන් ඒ ඒ තැනින් දශවර්ග භික්ෂු සංඝයා රැස්කරවා ආයුෂ්මත් සොණ (තෙරණහු) උපසපන් කරවීය.

[9] ඉක්බිති වස්විසූ කාය විවේකයට ගියාවූ සිත එකඟ කළාවූ සෝණ ආයුෂ්මත්හුගේ සිතට මෙබඳු කල්පනාවෙක් පහළවීය. (ii) මා විසින් ඒ භාග්‍යවතුන් වහන්සේ සම්මුඛයෙහි නොම දක්නා ලද්දාහුය. එසේවුවද ඒ භාග්‍යවතුන් වහන්සේ මෙබඳු කාය සම්පත්තියෙන් යුක්තසේකැයි මාගේ ඇසීම පමණෙක්මය. ඉදින් උපාධ්‍යායයන් වහන්සේ මට අනුදන්නා සේක්නම් ඒ අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ භාග්‍යවතුන් වහන්සේ දක්නට මම යන්නෙමි’යි.

[10] ඉක්බිති සොණ ආයුෂ්මත්තෙමේ සවස් වේලෙහි පලසමවතින් නැගීසිටියේ ආයුෂ්මත් මහාකච්චායනයන් වහන්සේ යම්තැනෙක වෙසෙද්ද, එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් මහාකච්චායනයන් වහන්සේට මනාකොට වැඳ එක්පැත්තක හුන්නේය. එක්පැත්තක හුන්නාවුම සොණ ආයුෂ්මත් තෙමේ ආයුෂ්මත් මහාකසයින් වහන්සේට මේ කාරණය සැළකෙළේය - “ස්වාමීනි, මෙහි රහසිගතවූ සිත එකඟ කළාවූ මාගේ සිතට මෙබඳු අදහසෙක් පහළවීය. (මෙහි 9 (ii) යෙදිය යුතුයි.)

“සාදු, සාදු, සොණයෙනි, අර්හත්වූ මනාව චතුස්සත්‍යය අවබොධ කළාවූ ඒ භාග්‍යවතුන් වහන්සේ දක්නට සොණය තෝ යව, සොණයෙනි, ප්‍රසාදය එළවන්නාවූ පැහැදීමට යොග්‍යවූ සන්සුන් ඉඳුරන් ඇති සන්සුන් සිත් ඇති උතුම්වූ සමථයටද දමථයටද පැමිණ සිටියාවූ දැමුනාවූ ගොපනයවූ සංයතවූ ඉඳුරන් ඇති නාග නම්වූ ඒ භාග්‍යවතුන් වහන්සේ දක්නෙහිය. දැක මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා යුවල හිසින් වඳු, ආබාධ නැති නියාවද රෝග නැතිනියාවද සිරුර සැහැල්ලු කාරණයද ශරීර ශක්තියද සැපසේ විසීමද විචාරව, “ස්වාමීනි, මාගේ උපාධ්‍යායවූ මහාකච්චායනයන්වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රීපාදයන් මස්තකයෙන් වඳිනසේක. ආබාධ නැති රොග නැති සිරුර සැහැල්ලුවීමට කරුණුවූ නොගිලන් නියාවද ශරීර ශක්තියද සැපසේ විසීමද විචරණසේකැ’යි කියවයි (කීය.)

“එසේය ස්වාමීනි,” (කියා) සොණ ආයුෂ්මත් තෙමේ ආයුෂ්මත් මහා කච්චායනයන් වහන්සේගේ වචනය පිළිගෙන සතුටුව පැදකුණු කොට සෙනසුන තැන්පත් කොට තබා පාත්‍රසිවුරු රැගෙන සැවැත් නුවර යම් දිශාවෙකද එහි චාරිකාවට ගියේය. පිළිවෙලින් චාරිකාවෙහි හැසිරෙමින් සැවත්නුවර යම් තැනෙකද ජෙතවනනම්වූ අනේපිඬු සිටුහුගේ ආරාමය යම් තැනෙකද, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට මනාකොට වැඳ එක් පසෙක හුන්නේය. එක් පැත්තක හුන්නාවූම සොණ ආයුෂ්මත් තෙම භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැළකෙළේය. - “ස්වාමීනි, මාගේ උපාධ්‍යායවූ ආයුෂ්මත් මහා කච්චායනයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා සඟල වඳිනසේක. නිරාබාධවූ නිරොගවූ ශරීරයාගේ සැහැල්ලුවීමට කරුණුවූ ශරීරශක්තියද පහසුසේ විසීමද විචාරණසේක.”

“කිම? මහණ, ඉවසිය හැකිද? කිම යැපිය හැකිද? කිම නිරායාසයෙන් මේ (මෙතෙක්) දීර්ඝ මාර්ගයෙහි ආයෙහි දැයි” (අසා වදාළසේක.) “භාග්‍යවතුන් වහන්ස, ඉවසිය හැක්ක යැපිය හැක්ක, ස්වාමීනි, මම නොවෙහෙසීමෙන් අදන් මග ආයේ වෙමි. අහරයෙන් ක්ලාන්තනොවූයේ වෙමි’යි (කීයේය) ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් අනඳ තෙරුන් කැඳවූසේක. “ආනන්දය, මේ ආගන්තුක මහණහට සෙනසුනක් පනව”යි (වදාළසේක.)

ඉක්බිති ආයුෂ්මත් ආනන්ද තෙරුන්ට මෙබඳු අදහසෙක් විය. භාග්‍යවතුන් වහන්සේ යම් භික්ෂුවකට වනාහි ‘අනද මේ ආගන්තුක භික්ෂුවට සෙනසුනක් පනව’යි මට ඇණවනසේක්ද, භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂුව සමග එක විහාරයෙහි වසන්නට කැමතිවනසේක, භාග්‍යවතුන් වහන්සේ සොණායුෂ්මතුන් සමග එකවෙහෙරෙහි වසන්නට කැමතිවන සේකැ’යි යම් වෙහෙරක භාග්‍යවතුන් වහන්සේ වාසය කරන සේක්ද, ඒ ගඳකිළියෙහි ආයුෂ්මත් සොණ භික්ෂුවට සෙනසුන පැනවීය.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ රෑ බොහෝ වේලාවක්ම එළිමහණෙහි වැඩහිඳීමෙන් ඉක්මවා පා සෝදා ගඳකිළියට පිවිසිසේක. සොණ ආයුෂ්මත් තෙමේද රාත්‍රියෙහි බොහෝ වේලාවක්ම එළිමහනෙහි හිඳීමෙන් ඉක්මවා පා සෝදා විහාරයට ඇතුළුවිය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ රෑ අලුයම් වේලෙහි නැගිට “මහණ, ධර්මය කියන්නට තොපට වැටහේවා”යි ආයුෂ්මත් සොණ භික්ෂුවට ඇණවූසේක. “එසේය ස්වාමීනි”යි සොණ ආයුෂ්මත් තෙමේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන්දී, කාමසූත්‍රාදී සොළොස් සූත්‍රයන් සියල්ලම මිහිරි උස්හඬින් කීයේය.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් සොණ භික්ෂුවගේ සරභණ්‍යවශානයෙහි “සාධු! සාධු!! මහණැ”යි සතුටුවූසේක. මහණ, (තොප විසින්) අෂ්ටක වර්ගයෙහිවූ සොළොස් සුතුරු මොනවට මෙනෙහි කරන ලද්දාහුය, මොනවට සලකන ලද්දාහුය. මිදුනාවූ නොපිරිහුනු පදව්‍යඤ්ජනයන් ඇති අදහස පරිදි අර්ථය සැඟවීමට සමර්ථවූ මනා (නාගරික) වචනයෙන් යුක්තවූයෙහිය, මහණ, කෙතෙක් වස් ඇත්තේ වෙහිදැ’යි විචාළ සේක.

“භාග්‍යවතුන් වහන්ස, මම උපසම්පදාවෙන් එක් වසක් ඇත්තේ වෙමියි”කී.

“මහණ, තෝ කුමට මෙසේ කල්ගත කෙළෙහිද?” “ස්වාමීනි, මා විසින් වස්තුකාම ක්ලෙශකාමයන්හි දෝෂය බොහෝ කලකින් දක්නා ලද්දේය. යළිදු ගෘහවාසය ගැහැටය (පීඩා සහිතය) බොහෝ කිස ඇත්තේය. දුෂ්කරවූ බොහෝ කටයුතු ඇත්තේය.”

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැන ඒ වේලාවෙහි මේ කරුණ දක්වන්නාවූ මේ ප්‍රීති වාක්‍යය පහළකළසේක.

“ලොකයෙහි දොස් දැක උපධිරහිතවූ නිර්වාණ ධර්මය දැන ආර්යතෙම පවෙහි නොඇලෙයි, පිරිසිදු පුද්ගල තෙම පාප ධර්මයෙහි නොඇලෙයි, පවිටු පුද්ගලතෙම නිරවද්‍යවූ කුශල ධර්මයට නොඇලේයයි”