ඛුද්දක නිකාය

උදානය

6. ජාත්‍යන්ධ වර්ගය

4. ප්‍රථම තීර්ථය සූත්‍රය

(මෙහි 1 වර්ගයේ 5 සූත්‍රයේ 1 ඡෙදය යෙදිය යුතුයි.)

එකල්හි වනාහි අනෙක ප්‍රකාර දෘෂ්ටි ඇත්තාවූ නොඑක් ක්ෂාන්ති ඇත්තාවූ නොඑක් රුචි ඇත්තාවූ නන්වැදෑරුම් දෘෂ්ටියට කාරණයෙහි ඇලුනාවූ බොහෝවූ නොයෙක් ලබ්ධියෙහි නියුක්තවූ තීර්ථකයෝද ශ්‍රමණයෝද බමුණෝද පරිබ්‍රාජකයෝද සැවතට පිඬු පිණිස වදිත්.

ලොකයෙහි ආත්මය (සදාකාලිකය) (අපගේ) මේ (දර්ශනයම සත්‍යය) අන්‍ය දර්ශනය හිස්ය (මිථ්‍යා දර්ශනයයි) මෙසේ කියන්නාවූ මෙසේ දෘෂ්ටි ඇත්තාවූ ඇතැම් මහණ බමුණෝ විද්‍යමාන වෙත්. ආත්මය සදාකාලික නොවේ. අපගේ (මේ දර්ශනයම සත්‍යය, අන්‍ය දර්ශන මිථ්‍යායයි මෙසේ කියන්නාවූ මෙසේ දෘෂ්ටි ඇත්තාවූ ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ විද්‍යමාන වෙත්. ආත්මය කෙළවර ඇත්තේය, මේ අපගේ දර්ශන යම් සත්‍යය (අන්‍ය දර්ශනය) මිථ්‍යායයි මෙසේ කියන්නාවූ මෙසේ දෘෂ්ටි ඇත්තාවූ ඇතැම් මහණ බමුණෝ වෙති. ආත්මය කෙළවර නැත්තේය. මේ (අපගේ දර්ශනයම සත්‍යය අන්‍ය දර්ශනය හිස්යයි ඇත්තාහුය. (යම් ශරීරයෙක් වේද එයම ජීව නම් වස්තුව වෙයි. (යම් ජීවයෙක්වේද එයම ශරීරය වෙයි. (මේ අපගේ දර්ශනයම) සත්‍යය අන්‍ය දර්ශන හිස්යයි මෙසේ කියන්නාවූ මෙසේ දෘෂ්ටි ඇත්තාවූ ඇතැම් මහණ බමුණෝ වෙති. ජීවය අනිකෙක සිරුර අනෙකක, (අපගේ) මේ දර්ශනයම සත්‍යය අන්‍ය දර්ශන මිථ්‍යායයි මෙසේ කියන්නාවූ මෙසේ දෘෂ්ටි ඇත්තාවූ ඇතැම් මහණ බමුණෝ විද්‍යමාන වෙත්. සත්වතෙම මරණින් මත්තෙහි වන්නේය. මේ (අපගේ දර්ශනයම) සත්‍යය අන්‍යදර්ශන මිථ්‍යාවේයයි මෙසේ කියන්නාහු මෙසේ දෘෂ්ටි ඇත්තාවූ ඇතැම් මහණ බමුණෝ වෙත්. සත්ව තෙම මරණින් මත්තෙහි නොවෙයි. මේ (අපගේ දර්ශනයම) සත්‍යය අන්‍ය දර්ශන බොරුයයි මෙසේ කියන්නාවූ මෙසේ දෘෂ්ටි ඇත්තාවූ ඇතැම් මහණ බමුණෝ ඇත්තාහ. සත්වතෙම මරණින් මත්තෙහි ඇත්තේත් වෙයි. නැත්තේද වේය. මේ (අපගේ දර්ශනයම) සත්‍යය අන්‍ය දර්ශන බොරුයයි මෙසේ කියන්නාවූ මෙසේ දෘෂ්ටි ඇත්තාවූ ඇතැම් මහණ බමුණෝ ඇත්තාහුය. ආත්මය මරණින් මත්තෙහි නොම වෙයි. නොවන්නේ නොවෙයි මේ අපගේ දර්ශනයම සැබෑය අන්‍ය දර්ශන බොරුයයි මෙසේ කියන්නාවූ මෙසේ දෘෂ්ටි ඇත්තාවූ ඇතැම් මහණ බමුණෝ ඇත්තාහුය. ඒ දෘෂ්ටි ගතිකයෝ හටගත් ඩබර ඇත්තාහු හටගත් කෝලාහල ඇත්තාහු විරුද්ධවාදයට පැමිණියාහු එකිනෙකා මුඛ නමැති අඩයටියෙන් අනින්නා රළුබස් කියන්නාහු වාසය කෙරෙත්. විපර්යාස නොවන ස්වභාව ඇත්තේය, එබඳුවූයේ ධර්මය වන්නේය, තොපවිසින් කියන ලද්ද පෙරලෙන ස්වභාව ඇත්තේය, එබඳුවූයේ ධර්මය නොවන්නේ, ධර්මය එබඳු නොවන්නේය, මෙඑබඳු වූයේ ධර්මය වන්නේය”යි.

ඉක්බිති බොහෝ භික්ෂූහු පෙරවරුවෙහි එක් වේලාවෙක හැඳ පොරවා පාත්‍ර සිවුරු රැගෙන සැවතට පිඬුපිණිස වන්හ. සැවැත් නුවර පිඬු සිඟා හැසිර පස් වරුයෙහි පිඬු සෙවීමෙන් වැළකුණාහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක (වෙසෙද්ද) එතැනට පැමිණියහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේට මනාව වැඳ එක් පැත්තක හුන්හ. එක් පැත්තක හුන්නාවූම ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ පුවත දැන්වූහ.

“ස්වාමීනි, මේ සැවැත් නුවර නොඑක් දෘෂ්ටි ඇත්තාවූ නොඑක් ක්ෂාන්ති ඇත්තාවූ නොඑක් රුචි ඇත්තාවූ නොඑක් දෘෂ්ටියට හෙතුන් ඇසුරු කළාවූ බොහෝවූ නොඑක් තීර්ථකයෝද නොඑක් ශ්‍රමණයෝද නොඑක් පිරිවැජියෝද සැවැත්නුවර වෙසෙති. (මෙහි 3 ඡෙදය යෙදිය යුතුයි.)

“මහණෙනි, අන්තොටු පිරිවැජියෝ අන්ධයහ. (මෙලෝ) වැඩ නො දනිත්, අනර්ථය නො දනිත්, ධර්මය නොදනිත්. අධර්ම නොදනිත්, ඔව්හු අර්ථය නො දන්නාහු ධර්මය නොදන්නාහු අධර්මය නො දන්නාහු හටගත් ඩබර ඇත්තාහු හටගත් කලහ ඇත්තාහු විරුද්ධ වාදයට පැමිණියාහු එකිනෙකා මුව සැතින් විදින්නාහු හැසිරෙත්. මෙබඳු නොපෙරලෙන ස්වභාව ඇත්තේ ධර්මය වන්නේය, මෙබඳු පෙරලෙන ස්වභාවය ඇත්තේ ධර්මය නොවන්නේය. මෙබඳුවූයේ ධර්මය නොවන්නේය, මෙබඳු වූයේ ධර්මය වන්නේයයි’ (කියායි)

“මහණෙනි, යටගිය දවස මෙම සැවැත් නුවර නාම ගොත්‍රයෙන් අප්‍රකටවූ එක් රජෙක් වීය. මහණෙනි, ඉක්බිති ඒ රජතෙම නාමගොත්‍රයෙන් අප්‍රසිද්ධ එක් පුරුෂයෙකු කැඳවීය. ‘එම්බල පුරුෂය, තෝ මෙහි එව, සැවැත් නුවර යම් පමණ ජාත්‍යන්ධයෝ වෙද්ද, ඒ සැවෝම එක් තැනෙක්හි රැස්කරව”යි (කීය.) මහණෙනි, ඒ පුරුෂ තෙම “එසේය දෙවයන් වහන්සැයි” කියා ඒ රජහට ප්‍රති උත්තරදී සැවැත් නුවර යම් පමණ ජාත්‍යන්ධයෝ වෙද්ද, ඒ සියල්ලන්ගෙන ඒ රජතෙම යම් තැනෙක (වෙසේ ද) එතැනට පැමිණියේය. පැමිණ ඒ රජහුට මේ පුවත කීයේය:- “දේවයන් වහන්ස, සැවැත් නුවර යම් පමණ ජාත්‍යාන්ධයෝ වෙද්ද, ඔව්හු (මා විසින් රැස් කරවන ලද්දාහුමය”) “එසේවීනම් කොළ ජාත්‍යන්ධයන්ට ඇතෙකු දක්වාලව’යි කීයේය. මහණෙනි, ‘එසේය දෙවයන් වහන්සැ’යි ඒ පුරුෂතෙම ඒ රජහට පිළිතුරුදී ජාත්‍යන්ධයනට ඇතෙකු දැක්වීය. ජාත්‍යන්ධයෙනි, ඇතා මෙබඳු”යයි ඇතැම් ජාත්‍යන්ධයනට ඇතාගේ හිස දැක්වීය. ජාත්‍යන්ධයෙනි, ඇතා මෙබඳුය’යි ඇතැම් ජාත්‍යන්ධයනට ඇතාගේ කණ දැක්වීය. ‘ජාත්‍යන්ධයෙනි, ඇතා මෙබඳු’යයි. ඇතැම් ජාත්‍යන්ධයනට ඇතාගේ දළ දැක්වීය:- ‘ජාත්‍යාන්ධයෙනි, ඇතා මෙබඳු’ යයි, ඇතැම් ජාත්‍යන්ධයනට ඇතාගේ සොඬ දැක්වීය. ‘ජාත්‍යන්ධයෙනි, ඇතා මෙබඳු යයි ඇතැම් ජාත්‍යන්ධයනට ආතාගේ කය දැක්වීය. ‘ජාත්‍යන්ධයෙනි, ඇතා මෙබඳු’යයි ඇතැම් ජාත්‍යන්ධයනට ඇතාගේ පා දැක්වීය. “ජාත්‍යන්ධයෙනි, ඇතා මෙබඳු”යයි, ඇතැම් ජාත්‍යන්ධයනට ඇතාගේ පිට දැක්වීය. “ජාත්‍යන්ධයෙනි, ඇතා මෙබඳුය”යි, ඇතැම් ජාත්‍යන්ධයනට ඇතාගේ (වලිගයේ මතු පෙදෙස) දැක්වීය. “ජාත්‍යන්ධයෙනි, ඇතා මෙබඳු”යයි ඇතැම් ජාත්‍යන්ධයනට ඇතාගේ වලිගය (වාලධියෙ අග පෙදෙස) දැක්වීය.

“මහණෙනි, ඊටපසු ඒ පුරුෂ තෙම ජාත්‍යන්ධයනට, ඇතා දක්වා ඒ රජතෙම යම් තැනෙක (වෙසේද) එතැනට පැමිණියේය, පැමිණ ඒ රජුට මෙය සැළ කෙළේය. “දෙවයන් වහන්ස, ඒ ජාත්‍යන්ධයන් විසින් ඇතා දක්නා ලද්දේමය. යමකට දැන් කල් දන්නෙහි නම් (ඊට කාලයයි” කීයේය.)

“මහණෙනි, එකල්හි ඒ රජතෙම ඒ ජාත්‍යන්ධයෝ යම් තැනෙක (වෙද්ද,) එතැනට පැමිණියේය. පැමිණ ඒ ජාත්‍යන්ධයන්ට මෙය කීයේය:- “ජාත්‍යන්ධයෙනි, තොප විසින් ඇතා දක්නා ලද්දේ දැ”යි - “එසේය දෙවයන් වහන්ස අප විසින් ඇතා දන්නා ලද්දේයයි (කීහ.) කියවු ජාත්‍යන්ධයෙනි, ඇතා කෙබඳුද? මහණෙනි, යම් ජාත්‍යන්ධයන් විසින් ඇතාගේ හිස දක්නා ලද්දේ වීද, ඔහු මෙසේ කීහු:- “දෙවයන් වහන්ස කළය යම්සේද ඇතා එබඳුයයි” (කීහ.) මහණෙනි, යම් ජාත්‍යන්ධයන් විසින් ඇතාගේ කණ දක්නා ලද්දේ වීද, ඔව්හු මෙසේ කීහ:- “දෙවයන් වහන්ස, කුල්ල යම්සේද, ඇතා එබඳුයයි” (කීහ.) මහණෙනි, යම් ජාත්‍යන්ධයන් විසින් ඇතාගේ දළ දක්නා ලද්දේවීද ඔහු මෙසේ කීහ. “දෙවයන් වහන්ස, සීවැල (නොහොත්) එල්ලන කෙක්ක යම්සේද, ඇතා එබඳු වේයයි” (කීහ) මහණෙනි, යම් ජාත්‍යන්ධයන් විසින් ඇතාගේ සොඬ දක්නා ලද්දේවීද, ඔහු මෙසේ කීහ. “දෙවයන් වහන්ස, නගුලිස යම්සේද, ඇතා එබඳුයයි” (කීහ) මහණෙනි, යම් ජාත්‍යන්ධයන් විසින් ඇතාගේ කය දක්නා ලද්දේවීද, ඔහු මෙසේ කීහ. “දෙවයන් වහන්ස, කොටුව යම්සේද, ඇතා එබඳුයයි” මහණෙනි, යම් ජාත්‍යන්ධයන් විසින් ඇතාගේ පා දක්නා ලද්දේවීද, ඔහු මෙසේ කීහ. “දෙවයන් වහන්ස, ටැඹ (කණුව) යම්සේද ඇතා එබඳුයයි” මහණෙනි, යම් ජාත්‍යන්ධයන් විසින් ඇතාගේ පිට දක්නා ලද්දේවීද, ඔහු මෙසේ කීහ. “දෙවයන් වහන්ස, වංගෙඩිය යම්සේද, ඇතා එබඳුයයි.” මහණෙනි, යම් ජාත්‍යන්ධයන් විසින් ඇතාගේ නගුට (වාලධියේ මතු පෙදෙස) දක්නාලද්දේවීද, ඔහු මෙසේ කීහ. “දෙවයන් වහන්ස, මොහොල යම්සේද ඇතා එබඳුයයි” මහණෙනි, යම් ජාත්‍යන්ධයන් විසින් ඇතාගේ වලිගය දක්නාලද්දේවීද, ඔහු මෙසේ කීහ. “දෙවයන් වහන්ස, මුස්න යම්සේද, ඇතා එබඳුයයි” ඒ ජාත්‍යන්ධයෝ ඇතා එබඳු වෙයි. ඇතා මෙබඳු නොවෙයි. ඇතා එබඳු නොවෙයි, ඇතා මෙබඳු වේයයි එකිනෙකා ගුටිබැට ගැසූහ. මහණෙනි, එකල්හි වනාහි ඒ රජ තෙම සතුටු සිත් ඇත්තේ විය.

මහණෙනි, එපරිද්දෙන්ම අඳවූ (එහෙයින්ම) නුවණ නැත්තාවූ අන්තොටු පිරිවැජ්ජෝ අර්ථය නොදනිත්, අනර්ථය නොදනිත්. ධර්මය නොදනිත්, අධර්මය නොදනිත්, ඔහු අරුත් නොදන්නාහු අවැඩ නොදන්නා දහම් නොදන්නාහු අදහම් නොදන්නාහු උපන් ඩබර ඇත්තාහු උපන් කලහ ඇත්තාහු විරුද්ධ වාදයට පැමිණියාහු ඔවුනොවුන් මුවසැතින් විදින්නාහු ධර්මය එබඳුය. ධර්මය මෙබඳු නොවෙයි, ධර්මය මෙබඳු වූයේ ධර්මය නොවෙයි, එබඳුවූයේ ධර්මයයි (විරුද්ධ බස් බෙණෙමින්) වෙසෙති.”

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ සියලු අයුරෙන් දැන ඒ වේලාවෙහි අරුත් දැක්වෙන මේ උදන් පහළකළසේක.

“ඇතැම් මහණ බමුණෝ මේ දෘෂ්ටීන්හි මේ රූපාදී පඤ්චොපාදානස්කන්ධයන්හි එක එක අවයවය දක්නා ඒ ජාත්‍යන්ධ ජනයෝ විවාද කළාහුද, එමෙන් විවාද කෙරෙත්. (නොහොත්) විරුද්ධව ගෙන විවාද කෙරෙත්. විශෙෂයෙන් දන්නා ලද්දේයයි අවිපරිතයක් කොට පිහිටා කියත්යයි.”