ඛුද්දක නිකාය

උදානය

6. ජාත්‍යන්ධ වර්ගය

5. (ද්විතීය) තීර්ථය සූත්‍රය

(මෙහි 1 වර්ගයේ 5 සූත්‍රයේ 1 ඡෙදය යෙදිය යුතුයි)

[2] එකල්හි වනාහි නොඑක් ලබ්ධි ඇත්තාවූ නොඑක් ක්ෂාන්ති ඇත්තාවූ නොඑක් රිසි ඇත්තාවූ නොඑක් ලබ්ධියට හෙතු ඇසුරු කළාවූ බොහෝ නන්තොටුවෝද ශ්‍රමණයෝද බමුණෝද පිරිවැජියෝද සැවැත් නුවරට ඇතුළු වෙත්.

[3] “ආත්මයද ලොකයද සදාකාලිකය (නිත්‍යය) අපගේ දර්ශනයම සත්‍යය. අන්‍ය දර්ශන හිස්ය, බොරුයයි මෙසේ කියන සුලුවූ මෙබඳු ලබ්ධි ඇත්තාවූ සමහර මහණ බමුණෝ ඇත්තාහ. තමාද ලොකයද සදාකාලික නොවන්නේය. මේ (අපගේ) දර්ශනයම සැබෑය. අන්‍ය දර්ශන හිස්යයි මෙසේ කියන සුලුවූ මෙබඳු ලබ්ධි ඇත්තාවූ සමහර මහණ බමුණෝ ඇත්තාහ.

“ආත්මයද ලොකයද (සමහරෙක්) සදාකාලිකද (සමහරෙක්) සදාකාලික නොවන්නේත් වෙයි. මේ අපගේ දර්ශනයම සැබෑය. අන්‍ය දර්ශන බොරුයයි මෙසේ කියන සුලුවූ මෙබඳු ලබ්ධි ඇත්තාවූ සමහර මහණ බමුණෝ ඇත්තාහ. තමාද (අන්‍ය) ලොකයද නොම සදාකාලිකය, සදාකාලික නොවන්නේත් නොවෙයි. (ii) මේ (අපගේ) දර්ශනයම සත්‍යය, අන්‍ය දර්ශන මිථ්‍යායයි මෙසේ කියන සුලුවූ මෙබඳු ලබ්ධි ඇත්තාවූ සමහර මහණ බමුණෝ ඇත්තාහ. (iii) (ඒ ඒ සත්වයන්ගේ ආත්මයද ලොකයද තමා විසින්ම කරන ලද්දේය. (මෙහි 3 (ii) යෙදිය යුතුයි.) තමාද ලොකය (අන්‍යයා) ද අන්‍ය (දෙවියකු) විසින් මවන ලද්දේය. (මෙහි 3 (ii) යෙදිය යුතුයි) තමාද ලොකයද තමා විසින් කරන ලද්දේත් වෙයි. අන්‍ය මවන්නෙකු විසින් කරන ලද්දේත් වෙයි. (මෙහි 3 (ii) යෙදිය යුතුයි) ආත්මයද ලොකයද තමා කරන්නේ නැත. අනිකෙක් කරන්නේ නැත. කිසියම් කාරණයක් නැතිව උපන්නේය. (මෙහි 3 (ii) යෙදිය යුතුයි) සුවදුක් දෙකද තමාද ලොකයාද සදාකාලිකය, (මෙහි 3 (ii) යෙදිය යුතුයි) සුවදුක් දෙකද තමාද අන්‍යයාද සදාකාලික නොවන්නේය, (මෙහි 3 (ii) යෙදිය යුතුයි) සුවදුක් දෙකද තමාද ලොකයාද සදාකාලිකත්වෙයි. අසදාකාලිකත් වෙයි. (මෙහි 3 (ii) යෙදිය යුතුයි) සුවදුක් දෙකද ආත්මයද ලොකයාද නොමසදාකාලිකත් වෙයි. අසදාකාලිකත් නොවෙයි. (මෙහි 3 (ii) යෙදිය යුතුයි) සුවදුක් දෙකද තමාද අන්‍යයාද තමා විසින්ම කරන ලද්දේය, මේ (අපගේ) දර්ශනයම සැබෑය, අන්‍ය දර්ශන සැබෑනොවේයයි (මෙහි 3 (ii) යෙදිය යුතුයි) සුවදුක් දෙකද තමාද අන්‍යයාද අන්‍ය (මාපකයෙකු) විසින් කරන ලද්දේය. (මෙහි 3 (ii) යෙදිය යුතුයි) සුවදුක් දෙකද තමාද ලොකයාද තමා විසින් කරන ලද්දේත් වෙයි. (මවන්නාවූ) අන්‍යයෙකු විසින් කරන ලද්දේත් වෙයි. (මෙහි 3 (ii) යෙදිය යුතුයි) සුවදුක් දෙකද තමාද අන්‍යයාද තමා කළේත් නොවෙයි අන්‍ය දෙවියන් කෙළේත් නොවෙයි. කිසියම් හෙතුවක් නැතිව උපන්නේය. (මෙහි 3 (ii) යෙදිය යුතුයි.)

“ඔව්හු ධර්මය එබඳුය, ධර්මය මෙබඳු නොවෙයි. මෙබඳු වූයේ ධර්මය වෙයි, එබඳුවූයේ ධර්මය වේයයි හටගත් ඩබර ඇත්තාහු හටගත් කලහ ඇත්තාහු විරුද්ධවාදයට පැමිණියාහු එකිනෙකා මුවසැතින් විදින්නාහු වාසය කෙරෙත්.

[4] ඉක්බිති බොහෝ භික්ෂූහු පෙරවරුයෙහි එක් වේලාවෙක්හි හැඳ පොරවා පාත්‍ර සිවුරු රැගෙන සැවැත් නුවර පිඬු පිණිස වන්හ. සැවතෙහි පිඬු සිඟා ඇවිද පස්වරුයෙහි පිඬු සෙවීමෙන් වැළකුනාහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හි වෙසෙද්ද, එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පසෙක හුන්හ. එක්පසෙක හුන්නාවුම ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ දැන්වූහ.

[5] “ස්වාමීනි, මේ සැවැත් නුවර නොඑක් දෘෂ්ටි ඇත්තාවූ නොඑක් ක්ෂාන්ති ඇත්තාවූ නොඑක් රිසි ඇත්තාවූ නොඑක් ලබ්ධියට කරුණු ඇසුරුකළාවූ බොහෝවූ නොඑක් තීර්ථකයෝද ශ්‍රමණයෝද බ්‍රාහ්මණයෝද පිරිවැජියෝද වෙසෙති. (ii) (මෙහි 3 ඡෙදය යෙදිය යුතුයි.)

[6] “මහණෙනි, අන්තොටු පිරිවැජ්ජෝ අන්ධවූවාහු (එහෙයින්ම) ප්‍රඥානමැති ඇස් නැත්තාහු අර්ථය නොදනිත් අනර්ථය නොදනිත්, ධර්මය නොදනිත්, අධර්මය නොදනිත්, ඔහු අරුත් නොදන්නාහු අවැඩ නොදන්නාහු දහම් නොදන්නාහු අදහම් නොදන්නාහු හටගත් ඩබර ඇත්තෝව හටගත් කෝලාහල ඇත්තෝව විරුද්ධවාදයට පැමිණියෝව එබන්ද ධර්මයවෙයි, මෙබන්ද ධර්මය නොවෙයි, ධර්මය මෙබඳු නොවෙයි, ධර්මය එබඳු වේයයි ඔවුනොවුන් මුවසැතින් විදිමින් වාසය කෙරෙත්යයි.”

[7] ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැන ඒ වේලාවෙහි ඒ කරුණ දක්වන මේ ප්‍රීතිවාක්‍යය පහළ කළසේක.

“ඇතැම් මහණ බමුණෝ මේ දෘෂ්ටීන්හි ඇලෙත්, අහෝ අනිසය මුළාවකි. අතරම “ඔෂධ” යයි කියන ලද නිවනට (නොහොත්) ඒ නිවනට පැමිණෙන උපායවූ ආර්යමාර්ගයට නොපැමිණම අතිසයින් ගැලෙත්” යයි.