ඛුද්දක නිකාය

උදානය

6. ජාත්‍යන්ධ වර්ගය

8. ගණිකා පූග සූත්‍රය

(මේ ඡෙදය 1 වර්ගයේ 6 සූත්‍රයේ 1 ඡෙදයමෙනි.)

[2] එකල්හි වනාහි (ii) සමූහ දෙකක මිනිස්සු එක්තරා වෙසඟනක කෙරෙහි ඇලුනාහුවෙත්. පිළිබඳ සිත් ඇත්තාහු හටගත් ඩබර ඇත්තාහු උපන් කෝලාහල ඇත්තාහු විරුද්ධවාදයට පැමිණියාහු එකිනෙකා අතින්ද ගසත්, කැට කැබලිතිවලින්ද ගසත්, මුගුරුවලින්ද ගසත්, ශස්ත්‍රවලින්ද ගසත්, ඔහු එහි මරණයටද පැමිණෙත්, මරණය සමාන දුකටද පැමිණෙත්.

[3] ඉක්බිති බොහෝ භික්ෂූහු පෙරවරු එක් වේලාවෙක්හි හැඳ පොරවා පාත්‍රසිවුරුගෙන රජගහ නුවරට පිඬු පිණිස පැමිණියාහුය. රජගහනුවර පිඬුසිඟා ඇවිද පස්වරුයෙහි පිඬු සෙවීමෙන් වැළකුණාහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියාහුය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත් පසෙක හුන්හ. එකත් පසෙක හුන්නාවූම ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය කීහ. “ස්වාමීනි, මේ රජගහනුවර (මෙහි 2 (ii) යෙදිය යුතුයි.)

[4] ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැන ඒ වෙලාවෙහි, මේ ප්‍රීති වාක්‍ය පහළ කළසේක.

“(රාගාදී) ක්ලෙශයෙන් පෙළුනාහටද ඔහුගේ විපාකයෙන් දුකින් පෙළුනාහටද අනුව නික්මෙන්නාහට යම් පස්කම් ගුණ සමූහයෙක් පැමිණියේද, යම් කාමගුණ සමූහයෙක් පැමිණියයුතුද මේ දෙකම (රාගාදී) ක්ලේශයෙන් ගැවසී ගත්තේය.

“දුකින් පෙළුනාවූ පැමිණියාවූ යම් ආත්ම පරිතාපනයෙක් (-තැවීමෙක්) වේද, පැමිණියයුතු යම් ඵලයකුත්වේද, ඒ දෙකම දුක් රජසින් ගැවසී ගත්තේය. යම් කෙනෙක් වනාහි ශික්ෂාව සාරකොට ඇත්තාහු වෙත්.

“ශීලයද ව්‍රතයද පලා අනුභව කරන බව වූ චූල ජීවිකාවද බඹසරද මෙසේ සාරයෝයයි කියන්නාහුවෙද්ද, මේ එක් අන්තයෙක්මය, කාමයන්හි දොසෙක් නැතැයි මේ කාම සුඛල්ලිකානුයොගය දෙවන අන්තයවේ.

“මෙසේ මේ අන්ත දෙක කටසි නම්වූ අවිද්‍යා තෘෂ්ණාවන් වඩන්නාහු වෙත්, ඒ කටසි නම්වූ තෘෂ්ණ අවිද්‍යාවෝ දෘෂ්ටීහු වඩත්, මේ අන්ත දෙක නොදැනීම හෙතු කොටගෙන ඇතැම් කෙනෙක් හැකිලීමට පැමිණෙත්, ඇතැම් කෙනෙක් අතිධාවනය කෙරෙත්, ඇතැම් කෙනෙක් හැකිලෙත්, ඇතැම් කෙනෙක් අතිධාවනය කෙරෙත්.

“යම් ඒ ආර්යපුද්ගල කෙනෙක් වනාහි ඒ අන්ත දෙක විශිෂ්ඨවූ විදර්ශනාඥානය සහිත මාර්ග ප්‍රඥාවෙන් දැන ඒ අන්ත දෙක්හි වැටුනෝ නොවූවාහුද, ඒ ආර්ය පුද්ගලයෝ ඒ අන්තදෙක පහකිරීමෙන් නොසිතූහ. ඒ උත්තම පුරුෂයන්ගේ පැනවීම පිණිස වෘත්තය නැත.”