ඛුද්දක නිකාය

උදානය

7. චුල්ල වර්ගය

2. (සෙක්ඛ) ලකුණ්ටක භද්දිය සූත්‍රය

(මේ ඡෙදය 1 වර්ගයේ 5 සූත්‍රයේ 1 ඡෙදය මෙනි.)

එකල්හි වනාහි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිර තෙම ආයුෂ්මත් ලකුණ්ටක භද්දිය තෙරුන් ශෛක්ෂයෙකැයි හඟිමින් ප්‍රමාණය ඉක්මවා වැඩියක් නොඑක් කාරණයෙන් දැහැමිකතාවෙන් මනාව දක්වයි, මනාව ගන්වයි, මනාව පිරිසිදු කරවයි, මනාව සතුටු කරවයි, භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ලකුණ්ටක භද්දිය තෙරුන් හික්මෙන්නෙකැයි හඟිමින් ප්‍රමාණය ඉක්මවා වැඩියක් නොඑක් කාරණයෙන් දැහැමි කතාවෙන් මනාව දක්වන්නාවූ මනාව සමාදන් කරවන්නාවූ මනාව පිරිසිදු කරවන්නාවූ මනාව සතුටු කරවන්නාවූ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් දුටුසේක්මය.

එකල්හි භාග්‍යවතුන් වහන්සේ ගඳකිළියෙහි වැඩහුන්සේක්ම බුද්ධානුභාවයෙන් යම්සේ දම්සෙනෙවි සැරියුත් තෙර ලකුණ්ටක භද්දිය තෙරුන්ගේ කෙලෙස් ක්ෂය කිරීම දැනගනීද (එසේ) ඒ කාරණය දැන ඒ වෙලාවෙහි මේ ප්‍රීති වාක්‍යය පහළ කළසේක:-

“(නිරවශෙෂයෙන් ක්ලෙශ) වෘත්තය සහමුලින් සින්දේය තෘෂ්ණාව නැති නිවනට විශෙෂයෙන් පැමිණියේය. තෘෂ්ණා නමැති ගංගාතොමෝ නිරවශෙෂයෙන් වියලන ලදු, නොගලයි (-නොපවතී) සිඳිනලද කමවට නොපවතී. එනොඉපදවීමම සියලු සසර දුකෙහි කෙළවරවේ.”