ඛුද්දක නිකාය

උදානය

7. චුල්ල වර්ගය

4. (ද්විතීය) කාම සත්ත සූත්‍රය

(මෙහි 1 වර්ගයේ 5 සූත්‍රයේ 1 ඡෙදය යෙදිය යුතුයි.)

[2] එකල්හි වනාහි සැවැත් නුවර මනුෂ්‍යයෝ බොහෝ සෙයින් (වස්තු) කාමයන්හි (දොෂය නොසලකා ආශ්වාදයම සිහි කොට) ඇලුනාහු වෙති. (මෙහි මේ වර්ගයේ 3 සූත්‍රයේ 2 (ii) යෙදිය යුතුයි) ඉතා ඇලුනාහු වෙති.

[3] එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු එක් වේලාවෙක්හි හැඳ පොරොවා පාත්‍ර, සිවුරු ගෙන සැවැත්නුවර පිඬු පිණිස වන් සේක. භාග්‍යවතුන් වහන්සේ (මෙහි මේ වර්ගයේ 3 සූත්‍රයේ 2 (ii) යෙදිය යුතුයි) ඒ මිනිසුන් දුටු සේක්මය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ (සැවැතින් නික්ම දෙවුරමට වඩනාසේක් අතර මග අචිරවතී නදියෙහි කෙවුළන් අටවන ලද කෙමිනකට වැද නික්මෙන්නට නොහැකිවූ බොහෝ මසුන් දුටුසේක. ඉන් ඔබ්බෙහි කිරිබොන එක් වස්සෙකු හඬා ලුහුබැඳ කිරිබීම පිණිස බෙල්ල දික්කරගෙන මවගේ කළවා අතරට මුව එළවන්නාහු දුටු සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වෙහෙරට වැඩ පා සෝදා පනවන ලද බුද්ධාසනයෙහි වැඩහුන් සේක්. මේ කරුණු දැන ඒ වේලාවෙහි මේ ප්‍රීති වාක්‍යය පහළ කළ සේක:-

[4] “(වස්තුකාමයන්හි) ක්ලෙශකාමයෙන් අන්ධවූ නුවණැස් නැතිකරන ලද්දාවූ සත්වයෝ සියුම් සිදුරු ඇති දැලකින්වට කරන ලද විලක්සේ අනිත්‍යාදී වශයෙන් නොඑක් භෙදයෙන් බිඳී ගියාවූ අන්‍ය ආත්මභාවයන්හි හා ස්වකීය ආත්ම භාවයෙහිද ආධ්‍යාත්මික බාහිර ආයතනයන්හිද එය ඇසුරු කළ ධර්මයන්හිද යටවීම් මතුවීම් වශයෙන් ඔබ මොබ ඉපදීමෙන් ඇතුළත්හි වූවන්ට අනර්ථ පමුණුවන හෙයින්, දැලක් බඳුවූ තෘෂ්ණාවෙන් වැසුණාහු තෘෂ්ණා නමැති වැසිල්ලෙන් වැසුනාහු වෙත්, කෙමන් කටෙහි (වන්) මසුන් මෙන් ප්‍රමාදවූ සත්ත්වයන් අනර්ථයෙන් බඳින්නාවූ ක්ලේශ මාරයා විසින්ද දිව්‍යපුත්‍ර මාරයා විසින්ද බඳින ලද්දාහු වෙත්. කිරි බොන වස්සා මව අනුව යන්නා සේ ජරා මරණයට පැමිණෙත්.”