ඛුද්දක නිකාය

උදානය

7. චුල්ල වර්ගය

5. ලකුණ්ටක සූත්‍රය

(මෙහි 1 වර්ගයේ 5 සූත්‍රයේ 1 ඡෙදය යෙදිය යුතුයි.)

එකල්හි වනාහි ආයුෂ්මත් ලකුණ්ටක භද්දිය ස්ථවිර තෙම බොහෝ භික්ෂූන්ගේ පිටිපසින් පිටිපසින් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හි එතැනට පැමිණියේය. භාග්‍යවතුන් වහන්සේ දුරදීම බොහෝ භික්ෂූන්ගේ පිටිපසින් පිටිපසින් එන්නාවූ දුර්වර්ණවූ ප්‍රසාද එළවන දැකුම් නැත්තාවූ මිටිවූ බොහෝ සෙයින් භික්ෂූන්ට පිළිකුල් ස්වභාවය ඇති ආයුෂ්මත් ලකුණ්ටක භද්දිය තෙරුන් දුටුසේක්මය. දැක භික්ෂූන් ඇමතූසේක:-

“මහණෙනි, තෙපි දුර්වර්ණවූ පැහැදීම එළවන දැකුම් නැත්තාවූ මිටිවූ බෙහෙවින් භික්ෂූන්ට නොරිසිවූ අර මහණ බොහෝ සාමණෙරවරුන්ගේ පසුපස්සෙන් දුරින්ම එනු දක්නහුදැ?”යි

“එසේය ස්වාමීනි”යි (කීහ) “මහණෙනි, ඒ මහණහු මහත් ඍද්ධි ඇත්තෙක, මහත් ආනුභාවය ඇත්තෙක. ඒ මහණහු නොසමවන් විරූ යම් සමවතක් (වේද,) ඕ සමවත සුවසේ ලැබිය හැකි ස්වභාව ඇත්තී නොවේ. කුලපුත්‍රයෝ යම් අර්හත් ඵලයක් පිණිස මනාකොටම ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදි වෙද්ද, නිරුත්තරවූ මාර්ග බ්‍රහ්මචර්ය කෙළවර කොට ඇති ඒ රහත්බව මේ අත් බවෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂකොට පැමිණ වෙසේ යයි” (වදාළසේක)

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ (ආයුෂ්මත් ලකුණ්ටක භද්දිය තෙරුන්ගේ මහර්ධිභාව මහත් ආනුභාව ඇති බව ආදි ප්‍රභෙදවූ මේ ගුණ සමූහයවූ අර්ථය හැම අයුරෙන් දැන ඒ වේලාවෙහි ඒ කරුණ දක්වන මේ ප්‍රීති වාක්‍යය පහළ කළ සේක.

“නිර්දොෂවූ ප්‍රධානවූ අර්හත් ඵල ශීල නමැති අග ඇත්තාවූ පලස වැනි අර්හත් ඵල විමුක්ති නමැති ඉතා සුදු පලස් ඇත්තාවූ සිහි නමැති අර (දැවී) ඇත්තාවූ (ලකුණ්ටක භද්දිය නමැති) රථයතෙම පවත්නේය. නිදුක්වූ කෙලෙසුන්ගෙන් සැළීමක් නැත්තාවූ, එන්නාවූ, සිඳින ලද ස්‍රොතස් (වැගිරීම්) ඇත්තාවූ බැමි නැත්තාවූ (ඒ ලකුණ්ටක භද්දිය නමැති රථය) බලවයි.”