ඛුද්දක නිකාය

උදානය

7. චුල්ල වර්ගය

9. උදපාන සූත්‍රය

[1] “මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ මල්ල ජනපදයෙහි අතුරිත චාරිකා වශයෙන් (නොඉක්මන් හැසිරීම් වශයෙන්) මහා මණ්ඩල ජනපද චාරිකාවෙහි වඩනාසේක් මහා බික්සඟන සමග මල්ල නම් දනව් වැස්සන්ගේ ගම යම් තැනෙක්හිද ඒ මාර්ගයට පැමිණිසේක. ථූන නම් ගම්වැසිවූ බමුණු ගැහැවියෝ “පින්වත්නි, ශාක්‍ය රජුගේ පුත්වූ ශාක්‍ය කුලයෙන් නික්ම පැවිදිවූ ශ්‍රමණ ගෞතමතෙම මල්ල ජනපදයෙහි චාරිකා කරමින් මහ බික්සඟන සමග ථූන නම් ගමට පැමිණියේල”යි ඇසූවාහුමය. “ඒ නින්දිත මුඩු මහණෝ පැන් නොබොත්වා”යි තෘණරොඩු ගොඩ ගසා ළිං වැසූහ.

[2] “ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මාර්ගයෙන් ඉවත්ව එක්තරා රුක්මුල යම් තැනෙක්හිද එතැනට වැඩිසේක. වැඩ පනවන ලද බුද්ධාසනයෙහි වැඩ හුන්සේක. වැඩහිඳ වනාහි ආයුෂ්මත් අනඳ තෙරුන් ඇමතූසේක. “එහෙනම් අනඳ! තෝ මට අර ළිඳෙන් පැන් ගෙන එව”යි (වදාළසේක) මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් අනඳ තෙර භාග්‍යවතුන් වහන්සේට මෙපුවත දැන්වීය.

[3] “ස්වාමීනි, (ii) දැන් (අප එන වේලාවෙහි) ඒ ළිඳ ථූන ගම්වැසි බ්‍රාහ්මණ ගෘහපතීන් විසින් ‘ඒ නින්දිත මුඩු මහණහු පැන් නොබොත්වා’යි රොඩුවලින්ද බොල් වියෙන්ද ළිං කට තෙක් පුරවන ලද්දේය. (iii) දෙවැනිවද භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් අනඳ තෙරුන් කැඳවූසේක. “එහෙනම් ආනන්දය, අර ළිඳෙන් පැන් ගෙනඑව”යි (වදාළසේක.) දෙවැනි වත් ආයුෂ්මත් අනඳ තෙර භාග්‍යවතුන් වහන්සේට මේ ප්‍රවෘත්තිය දැනුම් දුන්නේය. “ස්වාමීනි, (මෙහි 3 (ii) ඡෙදය යෙදිය යුතුයි.) තුන් වෙනුවද භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්දයයි, තෙරුන් කැඳවූසේක. ‘එහෙනම් ආනන්දය, අර ළිඳෙන් මට පැන් ගෙන එව”යි (වදාළසේක.)

“එසේය ස්වාමීනි” කියා ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී, පාත්‍රය ගෙන ඒ ළිඳ යම් තැනෙකද එතැනට පැමිණියේය. එකල්හි ඒ ළිඳ ආයුෂ්මත් අනඳ තෙරුන් පැමිණෙත් පැමිණෙත්ම ඒ හැම තණද දහවියාද ළිං කටින් (ඉල්පී) ඉවත්ව නිර්මලවූ නොකැලත්වූ විශෙෂයෙන් පෑදුනාවූ දියෙන් ළිං කට තෙක් පිරුණේ ගලා බසින්නාසේ සිටියේය.

[4] “එකල්හි ආයුෂ්මත් අනඳ තෙරුන්ට මෙබඳු අදහසෙක් විය. “පින්වත්නි, ඒකාන්තයෙන් තථාගතයන් වහන්සේගේ මහත් ඍද්ධි ඇතිබව මහානුභාව ඇතිබව ආශ්චර්යයි, පුදුමයි. මේ ඒ ළිඳ වනාහි මා පැමිණෙන කල්හි සියලු ඒ තෘණද බොල් වියද ළිං කටින් (ඉල්පී) ඉවත්ව නිර්මලවූ නොකැලඹුනාවූ විශෙෂයෙන් ප්‍රසන්නවූ ජලයෙන් ළිං කට තෙක් පිරුණේ ගලා බස්නාක් මෙන් සිටියේයයි,” පාත්‍රයෙන් පැන් ගෙන භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට මේ පුවත කීයේය. “ස්වාමීනි තථාගතයන් වහන්සේගේ මහර්ධි ඇති බව මහානුභාව ඇතිබව ආශ්චර්යය, පුදුමය. ස්වාමීනි, මේ ඒ ළිඳ වනාහි මා පැමිණෙන කල්හි සියලු ඒ තෘණද දහවියාද, ළිං කටින් (ඉල්පී) ඉවත්ව නිර්මලවූ නොකැළඹුනාවූ විශෙෂයෙන් ප්‍රසන්නවූ ජලයෙන් ළිං කට තෙක් පිරී ගියේ ඉතිරයන්නාසේ සිටියේය. භාග්‍යවතුන් වහන්සේ පැන් පානය කරණ සේක්වා, සුගතයන් වහන්සේ පැන් පානය කරන සේක්වායි” (කීයේය)

[5] “ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ දැන ඒ වේලාවෙහි මේ ප්‍රීති වාක්‍යය පහළ කළසේක.

“ඉදින් (යමකුට) හැමදා (හැම තන්හිම) දිය වන්නාහු නම් (ජලය ලැබේ නම්) (ඔවුන්ගේ ඒ) ළිඳෙන් පීම පමණක් පිළිබඳවූ ලාභය වේ නම් ළිඳෙන් කුමක් කරන්නේද, ඒ තෘෂ්ණාවගේ මුල හෝ මුලෙහිම සිඳ කවර කරුණකින් පැන් සෙවීමෙහි හැසිරෙන්නේද?”