ඛුද්දක නිකාය

උදානය

8. පාටලීගාම වර්ගය

1. (ප්‍රථම) නිර්වාණ සූත්‍රය

(මෙහි 1 වර්ගයේ 5 සූත්‍රයේ 1 ඡෙදය යෙදිය යුතුයි.)

එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට අසංස්කෘත ධාතුවවූ නිවන පැවසීම් වශයෙන් පැවැති ධර්ම දෙශනාවෙන් දක්වනසේක. (ලවා) ගන්වනසේක. බබුළුවනසේක. (නිර්වාන) ගුණයෙන් මනාකොටම සර්වප්‍රකාරයෙන් සතුටු කරවන සේක. මනාව දක්වනසේක. සමාදන් කරවනසේක.

ඒ භික්ෂූහුද ප්‍රයෝජන ඇත්තෝව සිතේ තබා දෙශනාව ආවර්ජනාකොට (සියලු සිතින්) මනාව දරා මනාව තබනලද කන් ඇත්තෝව දහම් අසති.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය (හැම අයුරෙන්) දැන මේ ප්‍රීතිවාක්‍යය ඒ වේලාවෙහි පහළකළසේක.

“මහණෙනි, යම් නිවනෙක්හි පෘථිවිධාතුව නොම ඇත්තේද, ආපෝධාතුව නැත්තේද, තෙජෝ ධාතුව නැත්තේද, වායෝධාතුව නැත්තේද, ආකාසානඤ්චායතන චිත්තෝත්පාදය නැත්තේද, විඤ්ඤාණඤ්චායතන සිතෙහි ඉපදීමෙක් නැත්තේද, ආකිඤ්චඤ්ඤායතන සිතෙහි ඉපදීමෙක් නැත්තේද, නෙවසඤ්ඤා නාසඤ්ඤායතන සිතෙහි ඉපදීමෙක් නැත්තේද, මේ ආත්මභාවය සඳ හිරු දෙදෙනද නැත්තේය. මහණෙනි, ඒ නිවණෙහි ඊමක්ද නොමකියමි, යාමක්ද නොම කියමි. සිටීමක්ද නොම කියමි. ඉපදීමද නොමකියමි. චුතවීමද නොමකියමි, ඒ නිවණ නොපිහිටියේය. නොපවත්නේය ඒ නිවණ අරමුණක් නැත්තේමය, කෙළවර වූයේම මේ නිවණ යයි.”