ඛුද්දක නිකාය

උදානය

8. පාටලීගාම වර්ගය

5. චුන්ද සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ මල්ල ජනපදයෙහි චාරිකාව කරනසේක් මහබික්සඟන සමග පාවා නම් නුවර යම් දිශාවෙක්හිද ඒ මගට වන්සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ පාවා නුවර සමීපයෙහිවූ චුන්ද නම් කර්මාර පුත්‍රයාගේ අඹවන (වෙහෙරෙහි) වැඩවසනසේක.

චුන්ද නම් ස්වර්ණකාර පුත්‍රතෙමේ භාග්‍යවතුන් වහන්සේ මල්ල ජනපදයෙහි චාරිකාවෙහි හැසිරෙමින් මහත් භික්ෂු සංඝයා සමග නගරයට පැමිණිසේක් පාවානුවර වෙත වූ මාගේ අම්බවනාරාමයෙහි වැඩවසනසේක්ල’යි ඇසූයේමය. ඉක්බිති ස්වර්ණකාරයාගේ පුත්‍රවූ චුන්දතෙමේ භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට මනාකොට වැඳ එකත්පසෙක හිඳගත. එකත්පසෙක හුන්නාවූම සුවන්කරු පුත්වූ චුන්දයාට භාග්‍යවතුන් වහන්සේ දැහැමි කතාවෙන් (නිවන) මනාව දැක්වූසේක. මනාව උත්සාහ කරවූසේක. මනාව සිත පිරිසිදු කරවූසේක.

ඉක්බිති චුන්ද නම් සුවන්කරුගේ පුත්‍රතෙමේ භාග්‍යවතුන් වහන්සේ විසින් ධාර්මික කථාවෙන් මනාව දක්වන ලද්දේ, මනාව ගන්වන ලද්දේ (එහි) උත්සාහ දන්වනලද්දේ (නිර්වාණ ගුණයෙන්) මනාව සතුටු කරවන ලද්දේ “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ බික්සඟන සමග සෙට දවසෙහි මාගේ බත ඉවසනසේක්වායි” භාග්‍යවතුන් වහන්සේට මේ වචනය කීයේය. භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දභාවයෙන් ඉවසා වදාළසේක. එකල්හි වනාහි චුන්ද නම් ස්වර්ණකාර පුත්‍රතෙම භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම දැන හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට වැඳ පැදකුණුකොට ගියේය.

ඉක්බිති රන්කරුගේ පුත් චුන්දතෙමේ ඒ රාත්‍රියගේ ඇවෑමෙන් සිය නිවසෙහි ප්‍රණීතවූ කැවිලිද, බොජුන්ද බොහෝ මොළොක් සිනිඳු හතු පිළියෙළ කරවා “ස්වාමීනි බත නිමියේය. (දනට) කල් වන්නේ” යයි භාග්‍යවතුන් වහන්සේට කල් දන්වා යැවීය.

එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පොරවා පා සිවුරු රැගෙන භික්ෂු සංඝයා සමග චුන්ද නම් කර්මාර පුත්‍රයාගේ ගෙය යම් තැනෙකද එතැනට වැඩි සේක. වැඩ පනවනලද අස්නෙහි වැඩහුන්සේක. භාග්‍යවතුන් වහන්සේ වැඩහිඳ චුන්ද නම් ස්වර්ණකාරයා අමතා වදාළසේක.

“චුන්දයෙනි, තොප යම් හතුමද්දවයක් පිළියෙළ කරන ලද්දේද, එයින් මා වළඳව, අන්‍යවූ ඛාද්‍යයක්, භොජ්‍යයක් පිළියෙළ කරණ ලද්දේද, එයින් භික්ෂු සංඝයා වළඳව”යි (වදාළහ) “එසේය ස්වාමීනි” කියා චුන්ද නම් ස්වර්ණකාර පුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේට උත්තරදී පිළියෙළ කළාවූ යම් මොළොක් සිනිඳු හතුවීද, එයින් භාග්‍යවතුන් වහන්සේ වැළඳවීය. පිළියෙළකළාවූ අන් යම් කෑයුතුදැයක් බුදියයුතු දැයක්වී ද, ඒ ඛාජ්‍ය භොජ්‍යයෙන් භික්ෂු සංඝයා වැළඳවීය.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කර්මාර පුත්‍රවූ චුන්දයා අමතා වදාළසේක.

“චුන්දයෙනි, තොපගේ යම් මොළොක් සිනිඳු හතු ඉතිරිවීද, ඒ ඉතිරි ඌරු කෑම වළෙක ලවයි (වදාළසේක.) චුන්දයෙනි, යමෙකු විසින් ඒ හතු අනුභව කරනලද්දේ මනාව දිරවීමට යන්නේද, තථාගතයන් වහන්සේහැර මම දෙවියන් සහිතවූ, මරුන් සහිතවූ බඹුන් සහිතවූ ලොකයෙහි මහණ බමුණන් සහිතවූ දෙවි මිනිසුන් සහිතවූ සත්වප්‍රජාවෙහි එබඳු පුඟුලකු නොමදකිමියි” (වදාළහ.) එසේය ස්වාමීනි, කියා චුන්ද නම් ස්වර්ණකාර පුත්‍රතෙම භාග්‍යවතුන් වහන්සේට ප්‍රතිඥාව දී යම් හතු කෑමක් ඉතිරිවීද, එය වළලා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන්නාවූම චුන්ද නම් කර්මාර පුත්‍රයාට භාග්‍යවතුන් වහන්සේ දැහැමි කථාවෙන් (දානානිසංස) මනාව දක්වා, මනාව සිතවිගන්වා මනාව උත්සාහ උපදවා (හැම අයුරෙන්) සිත සතුටු කරවා හුනස්නෙන් නැගිට වැඩිසේක.

ඉක්බිති ස්වර්ණකාර පුත්‍රවූ චුන්දගේ දානය වැළඳූ භාග්‍යවතුන් වහන්සේට රළු විෂභාග රොගයෙක් උපන, දැඩි ගිලන් බැව් ඇත්තාවූ මරුවෙතැ පැමිණවීමට සමත්වූ ලේ අතීසාරය පවත්නීය, එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ සිහිනුවණ ඇතිසේක් නොපෙළෙනසේක් ඉවසා වදාළසේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් අනඳ තෙරුන්ට අඬගා වදාළසේක:- “අනඳ! (එව) යමු,” කුසිනාරා නුවර යම් අතෙකද, ඒ අතට පැමිණෙන්නෙමුයි,” - “එසේය ස්වාමීනි’ කියා ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට පිළිතුරුදින.

[8] ධෘතිමත්වූ සර්වඥයන් වහන්සේ චුන්දනම් ස්වර්ණකාරයාගේ බත වළඳා ඉතාදැඩිවූ මරණය කෙළවර කොට ඇත්තාවූ රොගය අතිසයින් ස්පර්ශ කෙළසේකැයි මා විසින් අසන ලද්දේය, සූකරමද්දවය වැළඳූ ශාස්තෘන් වහන්සේට ඉතාබලවත් රොගයෙක් හටගත්තේය, විරේකවන්නාවූ භාග්‍යවතුන් වහන්සේ “මම කුසිනාරා නුවරටයමි”යි වදාළසේක.

[9] ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මාර්ගයෙන් ඉවත්ව එක්තරා රුක්මුල යම්තැනෙකද එහි වැඩිසේක, වැඩ ආයුෂ්මත් අනඳ තෙරුන් අමතා වදාළසේක. ‘මෙහි එව අනඳ තෝ මට සඟළ සිවුර සතර පොටක් කොට පණවාලව, ක්ලාන්ත වෙමි, හිඳගන්නෙමි,”යි වදාළසේක. “එසේය ස්වාමීනි,” කියා ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේගේ (වචනය) පිළිගෙන සඟළ සිවුර සතර පොටක් කොට පණවාලීය, භාග්‍යවතුන් වහන්සේ පණවනලද ආසනයෙහි වැඩහුන්සේක, වැඩ හිඳ වනාහි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් අනඳ තෙරුන් අමතා වදාළසේක:- “මෙහි එව, අනඳ තෝ මට පැන් ගෙන එව. අනඳ පිපාස ඇත්තේවෙමි. පානය කරන්නෙමි, මෙසේ වදාළකල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ කීයේය. (ii) “දැන් ස්වාමීනි; පන්සියයක් පමණ ගැල්ඉක්ම ගියාහුය, රිය රෝදවලින් කැඩීගිය ඒ දිය කඩිත්ත මඩින ලද්දක්සේ කැලැත්ව බොරව ගලාබස්නේය.

“ස්වාමීනි, නුදුරෙහි (තිබෙන) මේ කුකුත්ථානදී තොමෝ තුනීවූ ප්‍රසන්න ජලය ඇත්තීය, මිහිරි ජලය ඇත්තීය, සිහිල්දිය ඇත්තීය, (බොරනොවූ) සුදුදිය ඇත්තීය, මනාකොට ඇත්තීය, සිත්කලුවූවාය. අර කුකුත්ථානදියෙහි භාග්‍යවතුන් වහන්සේ පැන් පානය කරනසේක්වා, සිරුර අවයවයන් සිසිල් කරනසේක්වා”යි (කීය)

[10] දෙවැනිවද භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් අනඳ තෙරුන් අමතා වදාළසේක “මෙහි එන්න, අනඳ, තෝ මට පැන්ගෙන එව, අනඳ පිපාසාව ඇත්තේවෙමි, පානය කරන්නෙමි”යි (වදාළසේක) දෙවැනිවද ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම භගවතුන් වහන්සේට මේකරුණ සැළකෙළේය. (මෙහි 9 (ii) යෙදිය යුතුයි.) (කීය)

[11] තුන්වැනිවද භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් අනඳ තෙරුන් කැඳවා වදාළසේක. “මෙහි එන්න, අනඳ, තෝ මට පැන්ගෙන එව, අනඳ, පිපාස ඇත්තේවෙමි, පැන් පානය කරන්නෙමි”යි (වදාළසේක.) “ එසේය ස්වාමීනි” කියා ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට පිළිවදන්දී පාත්‍රයගෙන ඕ නදීතොමෝ යම් තැනෙකද, එහි ගියේය, එකල්හි කරත්තරෝදවලින් සුන්වූ කැලැත්ව බොරව ගලාබස්නාවූ ඕ කුඩා නදීතොමෝ ආයුෂ්මත් අනඳ තෙරුන් එළඹෙත්ම නිර්මලවූවා විශෙෂයෙන් ප්‍රසන්නවූවා බොරනොවූවා ගලායයි, ඉක්බිති ආයුෂ්මත් අනඳ තෙරුන්ට මෙබඳු අදහසෙක්වීය, “පින්වත්නි, එකාන්තයෙන් තථාගතයන් වහන්සේගේ මහර්ධි ඇති බව ආශ්චර්යය, පින්වත්නි එකාන්තයෙන් තථාගතයන් වහන්සේගේ මහානුභාවය ඇතිබව අද්භූතය, කරත්තරෝදවලින් කැඩුනාවූ කැලැත්ව බොරව ගලාබස්නාවූ ඕ මෝ කුඩා නදීතොමෝ මා එළඹෙත්ම නිර්මලවූවා විශෙෂයෙන් ප්‍රසන්නවූවා නො කැළැත්වූවා ගලාබස්නීයයි, පාත්‍රයෙන් පැන්ගෙන භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙකද එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ කීයේය. “ස්වාමීනි, තථාගතයන් වහන්සේගේ මහත් ඍද්ධි ඇතිබව මහත් අනුභාවය ඇතිබව ආශ්චර්යය, ස්වාමීනි! අද්භූතය, ස්වාමීනි රියසක්වලින් සුන්වූ කැලැත්ව බොරව ගලාබස්නාවූ ඕ මෝ කුඩා නදීතොමෝ මා එළඹෙනවිට නිර්මලවූවා විශෙෂයෙන් ප්‍රසන්නවූවා ගලායන්නීය, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ පැන්පානය කරනසේක්වා, සුගතයන් වහන්සේ පැන් පානය කරනසේක්වායි” (කීය.) එකල්හි භාග්‍යවතුන් වහන්සේ පැන් පානය කළසේක.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මහබික් සඟන සමග කුකුත්ථානදී තොමෝ යම් තැනෙකද, එහි වැඩිසේක, වැඩ කුකුත්ථානදියට බැස ස්නානයද කොට පැන් පානයද කොට ගොඩනැගී අඹවනය යම්තැනෙකද, එහි වැඩිසේක, වැඩ ආයුෂ්මත් චුන්ද තෙරුන් කැඳවා වදාළසේක, ‘චුන්ද මෙහි එන්න, තෝ මාගේ සඟළ සිවුර සතර පොටක් කොට පණවාලව, චුන්දය, වෙහෙසුනේවෙමි, හොවින්නෙමි”යි (වදාළසේක) “එසේය ස්වාමීනි,” කියා ආයුෂ්මත් චුන්ද ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට ප්‍රතිවචනදී දෙපොට සිවුර සතර පොටක් කොට පණවාලීය.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සිහි නුවණ ඇතිව දකුණුපයෙහි වම්පය ඉක්මවා තබා නැඟී සිටිමි යන සංඥාව සිතෙහි කොට දකුණැලයෙන් සිංහශෙය්‍යාව කළසේක. ආයුෂ්මත් චුන්ද ස්ථවිරතෙම එතැනම භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහි හුන්නේය.

(දෙවියන්) සහිත මේ ලොකයෙහි තමහට සම පුද්ගලයකු නැත්තාවූ දෙවිමිනිසුන්ට අනුශාසනය කරන්නාවූ චතුස්සත්‍යාවබොධය කළාවූ තථාගතයන් වහන්සේ අතිශයින් ක්ලාන්ත ස්වභාව ඇතිසේක් නිර්මල ජලය ඇත්තාවූ මිහිරි ජලය ඇත්තාවූ විශෙෂයෙන් පහන්වූ කුකුත්ථානම් නදිය කරා වැඩ (ඒ නදියට) බැස්සසේක.

(භික්ෂු සංඝයා විසින්) පිරිවරන ලද්දාවූ ශාස්තෘන් වහන්සේ භික්ෂු සංඝයා මැද නෑමද කොට පැන්ද පානය කොට ගොඩනැංගසේක, මේ ශාසනයෙහි ශීලාදි ශාසනධර්මයන් හෝ සුවාසුදහසක් ධර්මස්කන්ධයන් දෙශනා කළාවූ සත්වයන්ට අනුශාසනය කරන්නාවූ මහත් ශීලස්කන්ධාදිය සොයන්නාවූ භාග්‍යවතුන් වහන්සේ අඹවනය වෙත පැමිණිසේක.

චුන්ද නම් භික්ෂුව අමතා වදාළසේක. මාගේ (සඟළ) සිවුර සතර පොටක් කොට පණවාලව, හොවින්නෙමි, වඩනලද සිත් ඇති තථාගතයන් වහන්සේ විසින් මෙහෙයන ලද්දාවූ ඒ චුන්ද ස්ථවිරතෙම වහාම (සඟළ සිවුර) සතර පොටක් කොට පණවාලීය, ශාස්තෘන් වහන්සේ අතිශයින් වෙහෙසුණු ස්වභාව ඇතිසේක් වැදහොත්සේක. චුන්ද ස්ථවිර තෙමේද එහි ඉදිරියෙහි හුන්නේයි.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද තෙරුන් අමතා වදාළසේක. “ආනන්දය, චුන්දනම් ස්වර්ණකාර පුත්‍රයාට කිසිවෙක් පසුතැවීම උපදවන්නේද, ‘තථාගතයන් වහන්සේ යම්බඳු තොපගේ අවසාන පිණ්ඩපාතය වළඳා පිරිනිවිසේක්ද, ඇවත, චුන්දයෙනි, ඒ තොපට අලාභයෝ වෙති, ඇවත, චුන්දයෙනි, ඒ තොපට (මිනිසත්බැව) අයහපත් ලැබීමෙක් වී යයි’ වන්නේමය.

“ආනන්දය, චුන්දනම් කර්මාර පුත්‍රයාගේ පසුතැවිල්ල මෙසේ දුරුකළ යුත්තේය. ‘ඇවත, චුන්දයෙනි, යම්බඳු තොපගේ කෙළවරවූ පිණ්ඩපාතය වළඳා තථාගතයන් වහන්සේ පිරිනිවිසේක්ද, ඇවත, චුන්දයෙනි, ඒ තොපට ලාභයෝවූහ. ඒ තොපට මනා මිනිසත්බව ලැබීමවීයයි කියායි. ‘ඇවත, චුන්දයෙනි, මේ (මතුකියන) කරුණ භාග්‍යවතුන් වහන්සේගේ හමුවෙන් අසන ලද්දේය. සම්මුඛයෙහි පිළිගන්නා ලද්දේය. මේ පිණ්ඩපාත දෙක සමානවූවාහුවෙත්, සමඵල ඇත්තාහුවෙත්, සමවූවාහු සමාන විපාක ඇත්තාහුවෙත්, අන්‍ය පිණ්ඩපාතයනට වඩා ඉතාම අතිශයින් මහත් ඵලවූවාහුදවෙත්, අතිශයින් මහත් ආනිසංස ඇත්තාහුද වෙත්.

“කවර දෙකක්දයත්, තථාගතයන් වහන්සේ යම් පිණ්ඩපාතයකුත් වළඳා නිරුත්තරවූ සම්‍යක් සම්බොධිය අවබොධ කළසේක්ද, තථාගතයන් වහන්සේ යම් පිණ්ඩපාතයකුත් වළඳා පඤ්චස්කන්ධයන්ගේ ශෙෂය නැත්තාවූ නිර්වාන ධාතුවෙන් පිරිනිවන්පානසේක්ද, මේ දෙපිණ්ඩපාතයෝ සමානවෙත්, සමඵලය ඇත්තාහුවෙත්, සමානවූවාහු සමවිපාක ඇත්තාහුවෙත්, ඉතාම අන් පිණ්ඩපාතයනට වඩා අතිශයින් මහාවිපාක ඇත්තාහුවෙත්, අතිශයින් මහානිසංස ඇත්තාහු වෙත්.

“ස්වර්ණකාරයාගේ පුත්‍රවූ ආයුෂ්මත් චුන්දයා විසින් (දීර්ඝා) යුෂ ලැබීම පිණිස පවත්නාවූ (කුශල) කර්මයක් රැස් කරන ලද්දේය, ස්වර්ණකාරයාගේ පුත්‍රවූ ආයුෂ්මත් චුන්දයා විසින් වර්ණය ලැබීම පිණිස පවත්නාවූ (කුශල කර්මයක් රැස්කරන ලද්දේය, කර්මාර පුත්‍රවූ ආයුෂ්මත් චුන්දයා විසින් සැපලැබීම පිණිස පවත්නාවූ (කුශල) කර්මයක් රැස්කරන ලද්දේය, ස්වර්ණකාර පුත්‍රවූ ආයුෂ්මත් චුන්දයා විසින් පිරිවර ලැබීම පිණිස පවත්නාවූ (කුශල) කර්මයක් රැස්කරන ලද්දේය, රන්කරුගේ පිත් ආයුෂ්මත් චුන්දයා විසින් ස්වර්ගයෙහි ඉපදීම පිණිස පවත්නාවූ (කුශල) කර්මයක් රැස්කරන ලද්දේය, ස්වර්ණකාරයාගේ පුත්‍රවූ ආයුෂ්මත් චුන්දයා විසින් අධිපති (ශ්‍රෙෂ්ඨ) පිණිස පවත්නාවූ (කුශල) කර්මයක් රැස්කරන ලද්දේයයි’ ආනන්දය, කර්මාර පුත්‍රවූ චුන්දගේ පසුතැවිල්ල මෙසේ දුරුකළ යුත්තේයයි” වදාළසේක.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ අර්ථය පහළ කරන මේ ප්‍රීතිවාක්‍ය ප්‍රකාශ කළසේක.

“දන්දෙන්නාහට පින වැඩෙයි. ශීලසංයමයෙන් සංවරවූවාහට වෛරය නොපවතී. දක්ෂ පුද්ගලතෙම වනාහි ලාමකවූ අකුශලය පහකෙරෙයි. ක්ලේශ පරිනිර්වානය හෙතුවෙන් (ඉන්පසු) ස්කන්ධ පරිනිර්වානයෙන් පිරිනිවියේ වේයයි.”